
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම මෙරට ජනතාවට 'මැජික්' එකක් සේ පෙනී යන්නේ, මීට පෙර මෙරට ප්‍රබල දේශපාලන චරිත සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවූ පසුබිමක් තුළ බව කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පොදු දේපළ අවභාවිත කරන ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන විට මෙම 'මැජික්' ස්වභාවය පහව ගොස් එය රටේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය කාල වකවානුවලදී නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉහළ පෙළේ පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බාධා එල්ල වූ බවත්, නීතිය සාමාන්‍ය ජනතාවට පමණක් සීමා වූ තත්ත්වයක් පැවති බවත් ඔහු සිහිපත් කළේය.
ආණ්ඩුවේ කාර්යභාරය නීති සම්පාදනය කිරීම පමණක් බවත්, එම නීතිය ක්‍රියාත්මක කිරීම ස්වාධීන ආයතන විසින් සිදුකරනු ලබන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. පොදු දේපළ පනත යටතේ ඉදිරියේදීත් වැරදි සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් අධිකරණයෙන් වරදකරුවෙකු වී නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, ඔහුගේ අනාගතය පිළිබඳ තීරණය ගැනීම අධිකරණයට අයත් කාර්යයක් බවද පැවසීය. මහනුවර පැවති ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval