රුසියාව සමග යුක්රේන යුද්ධයට එක්ව මියගිය තම හමුදා සෙබළුන් වෙනුවෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් කඳුළු සලමින්, දණින් වැටී ආචාර කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් එරට රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කර තිබේ. දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට කිම් ජොන්ග්-උන්, මියගිය සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් වැළඳ ගනිමින් ඔවුන්ව සනසන ආකාරයද එම ඡායාරූපවල දැක්වේ.
මෙම ඡායාරූප නිකුත් කර ඇත්තේ විශේෂ සැමරුම් උත්සවයකට අදාළව වන අතර, එහිදී කිම් ජොන්ග්-උන් විසින් මියගිය සෙබළුන්ගේ ඡායාරූප අසල පදක්කම් තබනු ලබන අතර, යුද්ධයෙන් ආපසු පැමිණි සෙබළුන්ව අස්වසන අයුරු ද දැකගත හැකිය. තම තරුණ කාලය සහ ජීවිතය කැප කළ මෙම සෙබළුන් "වීරයන්" ලෙස උතුරු කොරියානු නායකයා විසින් මෙහිදී ගෞරවයට පාත්‍ර කර ඇත.
උතුරු කොරියාවේ නිල පුවත් සේවය වන 'කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය' (KCNA) සඳහන් කළේ විදේශ මෙහෙයුම්වලදී සටන් කර "සුවිශේෂී දස්කම් දැක්වූ" අණදෙන නිලධාරීන්ට කිම් විසින් පෞද්ගලිකවම "උතුරු කොරියානු වීරයා" යන නාමය පිරිනැමූ බවයි.
එමෙන්ම, ඔහු ස්මාරක පවුර අසල පුෂ්පෝපහාර දක්වා, ශෝකයට පත් පවුල් හමුවී ඔවුන්ට සිය සානුකම්පිත බව පළ කළ බවද එම වාර්තාවල දැක්වේ.
දකුණු කොරියානු සහ බටහිර බුද්ධි අංශ වාර්තාවලට අනුව, උතුරු කොරියාව 2024 වසරේදී රුසියාවට හමුදා භටයින් 10,000 කට අධික සංඛ්‍යාවක් යවා ඇති අතර, ඔවුන් ප්‍රධාන වශයෙන් කුර්ස්ක් ප්‍රදේශයේ සේවයේ යොදවා ඇත. ඊට අමතරව කාලතුවක්කු උණ්ඩ, මිසයිල සහ දිගු දුර රොකට් පද්ධති ද සපයා තිබේ. රුසියාව වෙනුවෙන් සටන් කිරීමේදී උතුරු කොරියානු සෙබළුන් 600 ක් පමණ මියගොස් දහස් ගණනක් තුවාල ලබා ඇති බව දකුණු කොරියාව පවසයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය සතියේ උතුරු කොරියානු හමුදා භටයින් "වීරයන්" ලෙස හැඳින්වූ අතර දෙරට අතර සබඳතා ශීඝ්‍රයෙන් ශක්තිමත් වෙමින් පවතී. පසුගිය වසරේ පුටින්ගේ උතුරු කොරියානු සංචාරයේදී දෙරට අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් තැබිණි. මේ වසරේ අප්‍රේල් මාසයේදී, යුක්රේනයේ රුසියානු හමුදා සමඟ පෙරමුණේ තම හමුදා භට පිරිසක් රඳවා සිටින බව උතුරු කොරියාව පළමු වරට තහවුරු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval