
පොල්ගස්ඕවිට, කිරිගම්පමුණුව ප්රදේශයේ නිවසක් තුළ ගෙල වැලලාගත් අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් මත්තේගොඩ පොලිසිය විසින් පෙරේදා (25) සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි සැමියෙකු සහ 69 හැවිරිදි බිරිඳක් බවට හඳුනාගෙන ඇත.
අදාළ නිවසේම පදිංචිව සිටින ඔවුන්ගේ දියණිය සහ බෑණනුවන් අධිකරණ කටයුත්තක් සඳහා හෝමාගමට ගොස් නැවත පැමිණි අවස්ථාවේදී, දෙමාපියන් නිවසේ බාල්කයක එල්ලී සිටිනු දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. මීට මාස හයකට පමණ පෙරද මෙම යුවළ සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවත්, එය මත්තේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් වළක්වාගෙන ඇති බවත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මියගිය කාන්තාව දීර්ඝකාලීන රෝගී තත්ත්වයකින් පීඩා විඳ ඇති අතර, පසුගිය මාස තුනක පමණ කාලය තුළ ඇය ඇඳට සීමා වී සිටි බවටද තොරතුරු ලැබී තිබේ. ආර්ථික අපහසුතා මෙම මරණයට හේතු වන්නට ඇති බවට පොලිසිය මූලික වශයෙන් සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ කැස්බෑව මහේස්ත්රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇත. පසුව, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙසට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ. මත්තේගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval