if-you-cant-get-fingerprinted-find-another-job

 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත තැපැල් සේවකයන්ට සිය ඉල්ලීම් වන අතිකාල දීමනා ඉහළ නැංවීම සහ ඇඟිලි සලකුණු ක්‍රමවේදය ඉවත් කිරීම යන කාරණා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු නොවන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

එම කොන්දේසි මත සේවයේ නිරත වීමට නොහැකි සේවකයන්ට වෙනත් රැකියාවක් තෝරා ගැනීමට නිදහස ඇති බවද ඒ මහතා ඊයේ (19) කොළඹදී පැවසීය.



රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වර්ජනයට මුල් වූ ඉල්ලීම් දහනවයෙන් දාහතක් සඳහා මේ වන විට විසඳුම් ලබා දී හෝ ලබා දෙමින් පවතින නමුත්, ඉතිරි ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් වෘත්තීය සමිති දක්වන අනම්‍යශීලී පිළිවෙත හේතුවෙන් ගැටලු නිරාකරණය කරගැනීමට ඔවුන්ට සැබෑ අවශ්‍යතාවක් නොමැති බව පැහැදිලි වන බවද ඔහු කියා සිටියේය.



සියලුම රාජ්‍ය සේවකයන් සඳහා මූලික වැටුප් වැඩි කර ඇති පසුබිමක, සේවයට වාර්තා කිරීම සහ පිටව යෑම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණ ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු සේවකයෙකුට අයිතියක් නොමැති බවයි අමාත්‍යවරයාගේ අදහස වූයේ. තැපැල් දෙපාර්තමේන්තුව ලබන ආදායම එහි සේවකයන්ගේ වැටුප් සහ අතිකාල ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ මෙවැනි අසාධාරණ ඉල්ලීම් සඳහා රජය කිසිසේත් යටත් නොවන බවත්, මෙම වෘත්තීය සමිති පිටුපස සිටින දේශපාලන පක්ෂ පිළිබඳව රජය දැනුවත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වර්ජනයේ නිරත සේවකයන්ගේ නිවාඩු දැනටමත් අවලංගු කර ඇති අතර, ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අමාත්‍යවරයා අනතුරු ඇඟවීය. තවදුරටත් සාකච්ඡා පැවැත්විය හැක්කේ රජයේ ස්ථාවරය වන අතිකාල සහ ඇඟිලි සලකුණු ක්‍රමවේදය පිළිගන්නේ නම් පමණක් බවද ඔහු සඳහන් කළේය.



කඩාකප්පල්කාරී සුළු පිරිසක් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවාවන්ට බාධා පමුණුවන නමුත්, රටේ බහුතරයක් තැපැල් සේවකයන් මෙම ඉල්ලීම් දෙකට එකඟ නොවන බව රජය විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීවේය. වර්ජනය ක්‍රියාත්මක වුවද ඊයේ දිනය වන විට දිවයිනේ උප තැපැල් කාර්යාලවලින් සියයට අනූවක් සහ ප්‍රධාන තැපැල් කාර්යාල සැලකිය යුතු සංඛ්‍යාවක් විවෘතව පැවති බවද ඔහු හෙළි කළේය. මෙම තත්ත්වය හමුවේ ජනතාවට සිදුවන අපහසුතාව වෙනුවෙන් කණගාටුව පළ කළ ඒ මහතා, තැපැල් සේවයේ දිගුකාලීන යහපත උදෙසා ගෙන ඇති මෙම තීරණ හේතුවෙන් ඇතිවන තාවකාලික දුෂ්කරතා ඉවසා සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.