MiG aircraft deal resurfaces; CID questions Udayanga and wife

ප්‍රශ්නකාරී මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් නැවත විවෘත කර ඇති විමර්ශනවලට අදාළව, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (12) දින ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පසුගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩු සමයේදී වසා දමා තිබූ මෙම විමර්ශන ගොනු, මේ වන විට යළි විවෘත කර ඇති බව වාර්තා වේ.



2007 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් MiG-27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 7.833කට ආසන්න මහජන මුදලක් අවභාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මකය.

රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකු වන උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ බිරිඳ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ දැනුම්දීමකට අනුව ඊයේ දිනයේ එහි පෙනී සිට ඇත.

මෙම ප්‍රශ්න කිරීමේදී, මිග් ගනුදෙනුවට අදාළව උදයංග වීරතුංග මහතාගේ මස්සිනා බව කියන පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට බැරවී ඇති බව කියන විශාල මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශකයින්ගේ අවධානය යොමුවී ඇති බව සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශන කටයුතු සිදුකරයි. විමර්ශන ඉදිරියට ගෙන යාම සඳහා රුසියාවේ සහ යුක්රේනයේ සහය ලබා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වේ.