අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි වියට්නාම් ජාතික කාන්තාවක් මුහුදේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්ව ඇත. දිය රළකට හසුවී ගසාගෙන ගිය ඇයගේ සිරුර පසුව බෙන්තොට වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමු වූ බව අලුත්ගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වියට්නාමයේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවූ නිගුයෙන් ති මින්ග් හැන්ග් නැමැති කාන්තාවකි. ඇය විදේශීය සංචාරකයින් 86 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ අදාළ හෝටලයේ විවේකීව ගත කරමින් සිට ඇත.
ඊයේ (11) දිනයේ උදෑසන 8.00ට පමණ තම කණ්ඩායමේ කිහිප දෙනෙකු සමග මොරගල්ල වෙරළ තීරයෙන් මුහුදට බැස දිය නාමින් සිටියදී ඇය හදිසි දිය රළකට හසුවී ගසාගෙන ගොස් තිබේ. සිදුවීමෙන් පැය කිහිපයකට පසුව ඇයගේ දේහය බෙන්තොට වෙරළට ගොඩගසා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
අලුත්ගම පොලිස් ස්ථානාධිපති රමේෂ් රත්නසිංහම් මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් කොස්තාපල් සිසිර කුමාර (95111) මහතා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval