රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් මත පොදු දේපළ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතව තිබේ. පසුගිය 22 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
කෙසේ වෙතත්, රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී ඇති වූ සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ඒ මහතා මේ වන විට එහි දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
ඔහුට තවදුරටත් දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බැවින්, අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමේ හැකියාව නොමැති බව වාර්තා වේ.ඔහු වෙනුවෙන් නීතීඥයින් අධිකරණයේ කරුණු පළකරනු ඇත.
මේ අතර, නඩුව කැඳවීමට සමගාමීව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති විරෝධතා හේතුවෙන් කොළඹ නගරය පුරා සහ විශේෂයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ. මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා කැරලි මර්දන ඒකක ඇතුළු අමතර පොලිස් කණ්ඩායම් සීරුවෙන් තබා ඇති අතර, ඇතැම් මාර්ග වසා දමා මාර්ග බාධක යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය සංවිධානය කරන මෙම විරෝධතාව සඳහා දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නීතිය කඩකරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
අද උද්ගෝෂණ ක්‍රියාත්මක වීමට නියමිත කලාපයේ සිතියම පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval