දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි පේළි පෙරහැරේ ගමන් කරමින් සිටි "භානුක" නම් අලියෙකු ඊයේ (04) රාත්‍රියේදී හදිසියේ කලබලකාරී ලෙස හැසිරීම හේතුවෙන් උත්සව භූමියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. මෙම සිදුවීමත් සමග පෙරහැර නැරඹීම සඳහා රැස්ව සිටි විශාල ජනකාය හිස් ලූ ලූ අත දිව යෑම නිසා තත්ත්වය තවත් උග්‍ර විය.
කලබල වූ අලියාගේ පහරදීමකට ලක්වීමෙන් ඇත් ගොව්වෙකු තුවාල ලබා ඇති අතර, ඔහුව ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම ඇත් ගොව්වාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කතරගම ප්‍රදේශයේ සිට මෙම පෙරහැර සඳහා රැගෙන ආ "භානුක" නමැති අලියා මෙලෙස කුලප්පු වී ඇත.
මෙම සිදුවීමත් සමග පෙරහැර ගමන් කිරීම තාවකාලිකව නතර වූ අතර, සංවිධායක මණ්ඩලය විසින් සෙසු අලි ඇතුන් පෙරහැරෙන් ඉවත් කර, පෙරහැර යළි ගමන් කරවීමට පියවර ගන්නා ලදී. අනතුරුව, සෙසු ඇත් ගොව්වන් සහ වනජීවී නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා කලබලකාරී ලෙස හැසිරුණු අලියා මෙල්ල කිරීමට සමත් වූහ.
විශේෂ සිදුවීමක් ලෙස වාර්තා වන්නේ, පසුගිය මාර්තු මස 21 වන දින තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද දෙවිනුවර දේවාලය ඉදිරිපිට ස්ථානයේදී ම මෙම අලියා කුලප්පු වීමයි.
කෙසේ වෙතත්, දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංක මහතාගේ ප්‍රධානත්වයෙන් සිව්වැනි පේළි පෙරහැර අද (05) රාත්‍රියේදී නියමිත පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයෝ තහවුරු කරති.
Comments
Post a Comment
Your comment will be visible after approval