ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙස කටයුතු කළ රේණුකා ඒකනායක මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත යොමු කර තිබේ. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන සමන් ඒකනායක මහතාගේ භාර්යාව වන ඇය, අමාත්‍යාංශ ලේකම්වරියක ලෙසද මීට පෙර සේවය කර ඇත.
ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේදී සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෑතකදී රේණුකා ඒකනායක මහත්මියව කැඳවා තිබිණි.
මෙම විමර්ශනයට අදාළව, 2018 වසරේදී ඕස්ට්‍රේලියාවෙන් ගැබ්බර කිරි ගවයින් 15,000ක් ආනයනය කිරීම සඳහා නෙදර්ලන්ත බැංකුවකින් ලබාගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක් අත්තිකාරම් ලෙස අදාළ සමාගම වෙත ගෙවා තිබුණද, මේ දක්වා එම සතුන් මෙරටට ගෙන්වා නොතිබීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රශ්න කර තිබුණි.