a-mother-and-daughter-who-were-spraying-insecticides-in-the-ambakolawewa-paddy-field-were-killed-by-a-wild-elephant-attack

අඹන්පොළ පොලිස් වසමේ අඹකොළවැව වෙල්යායේ මුං වගාවට කෘමිනාශක ඉසීමට ගොස් සිටියදී වල් අලි ප්‍රහාරයකට ලක්වී මවක් සහ දියණියක් මරණයට පත්ව ඇත. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ නිකවලයාය මැඩියාව මහව පදිංචි අබේරත්න හේරත් මුදියන්සේලාගේ තක්ෂිලා සුභාෂිණි (අවුරුදු 28) සහ ඇයගේ මව වන ඒකනායක මුදියන්සේලාගේ ඉනෝකා කුමාරි යන අය වෙති.


සිද්ධිය ඇසින් දුටු නිශාන්ති ධම්මිකා මහත්මිය සිද්ධිය විස්තර කරමින්, "මමයි මහත්තයයි පොඩි දරුවත් අරගෙන වෙලට ගියා තෙල් ගහන්න. පොඩි දරුවා වෙලේ ගහක් අයිනෙන් තියලා මහත්තයා තෙල් ගැහුවා. ටික වෙලාවක් යනකොට අපි දැක්කා කට්ටියක් පස්සේ අලියෙක් පන්නනවා. අලියා පන්නාගෙන ඇවිත් එයාලව පාගනවා දැක්කා. අපිත් ඊට පස්සේ බයට දිව්වා," යැයි පැවසුවාය.
වන අලි පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ දියණිය අඹන්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ මව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
"එතන හිටපු කෙනෙක් කතා කරලා 1990 ට කිව්වා. ගිලන් රථය ආවා. ගිලන් රථයේ පස්සෙත් අලියා පැන්නුවා. අලි ටික මී ඔය කැලෑවට යනකන් ඉඳලා තමයි කට්ටිය එකතු වෙලා මේ අම්මයි දුවයි දෙන්නා ඉස්පිරිතාලෙට අරගෙන ගියේ" යැයි නිශාන්ති ධම්මිකා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.


රාජකාරියට කැපවූ නිලධාරිනියක්
තක්ෂිලා සුභාෂිණි සේවය කරමින් සිටි අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.ඒ. කැරැගොඩ මහත්මිය සුභාෂිණි පිළිබඳව අදහස් දක්වමින් මෙසේ කීවාය:
"ඉනෝකා මහත්මිය අපේ කාර්යාලයේ ඉතා හොඳින් සේවය කළ නිලධාරිනියක්. ඇය නිරන්තරයෙන් මහජනතාවත් සමඟ සම්බන්ධ වෙලා තමයි වැඩ කළේ. මහජනතාව නිතරම ඇය ගැන හොඳ කියන මට්ටමට ඇගේ රාජකාරිය නිවැරදිව ඉටුකර තිබුණා. කාර්යාලයේ වැඩ කරන අනෙකුත් නිලධාරින් සමඟ සුහදව ඉතා හොඳින් වැඩ කරලා තමන්ගේ බාහිර කටයුතුත්, රාජකාරි කටයුතු ඉතාම හොඳින් කරන අතර, පවුලේ ජීවන බර තනිවම ඇගේ උර මතට අරගෙන ශක්තිමත්ව මුහුණ දුන්න ඉතා දක්ෂ කාන්තාවක් විදියට තමයි මම ඇය හඳුනාගෙන තිබුනේ."
"ඇගේ දියණියගේ විවාහ මංගල්‍යය ඉදිරි මාස කීපයේදී යොදාගෙන තිබුණු බවත් මට දැනගන්න ලැබුණා. ඒ සඳහා ගොඩක් මහන්සියෙන් වැඩ කටයුතු කළා. ඇය දිරිය කාන්තාවක් වීමම ඇත්තටම අපිටත් ඉතාම පාඩුවක්. ඇය මේ සිද්ධියට මුහුණ දුන් දිනයේ නිවාඩු ලබාගෙන තමන්ගේ කුඹුරට ගිහින් තිබුණා. තමන් වගා කරපු මුං වගාවට කෘමි නාශක ඉසින්න ගිහින් තමා ඇයට මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. ඉතාම කනගාටුදායක අවස්ථාවක්. අපේ කාර්යලයේ සියලු දෙනාම මේ සිද්ධීන් සම්බන්ධයෙන් කම්පාවට පත්වෙලා ඉන්නවා," යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ප්‍රදේශයේ වන අලි ගැටලුව
අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කැරැගොඩ මහත්මිය ප්‍රදේශයේ වන අලි ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, "මම ප්‍රාදේශීය ලේකම් විදිහට මට කියන්න තියෙන්නේ මේ ප්‍රදේශයේ මිනිස්සු නිරන්තරයෙන්ම වන අලි ප්‍රහාර වලට, වගා හානි, දේපළ හානි වැනි කරදර වලට මුහුණ දෙනවා. ජන ජීවිතය කඩා වැටෙමින් මිනිස්සුන්ගේ ජීවිතයට බලපෑම් එල්ල වෙනවා. නමුත් අපිට සත්තුත් ආරක්ෂා කරගෙන මිනිස්සු ආරක්ෂා වෙලා ජීවත් වීමට අවශ්‍යතාවය තියෙනවා. විසඳුමක් ලැබුණොත් යම්තාක් දුරට මිනිස්සුත් රැකගෙන වන සතුනුත් ආරක්ෂා කරගෙන ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වනවා," යැයි පැවසුවාය.
සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ
මෙම සිද්ධියෙන් මියගිය දියණියගේ සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ අඹන්පොල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය ඩී. එම්. රුවන් බණ්ඩාර දිසානායක මහතා ඉදිරියේ සාක්කි දෙමින්

අඹකොළවැව, අඹන්පොළ ලිපිනයේ පදිංචි ජයසිංහගේ අසංක කුමාර ජයසිංහ මහතා මෙසේ කීය:
"අපේ මහ ගෙදර ළඟ ගෙදර තමයි මෙයාලා ඉන්නේ. වෙලේ ඉඳලා මට කෝල් එකක් දුන්නා. අලියා ගහලා කියලා. මම විල් එකේ තව එක් කෙනෙක් එක්ක ගියා. අපි යනකොට අලියා එතන හිටියා. අලියා බොහොම අමාරුවෙන් එළවලා ළමයා අරගෙන විල් එකට දා ගත්තා. 1990 ගිලන් රථය ඒ වෙලාවේ ඇවිල්ලා තිබුණා. ඒකට ළමයාගේ අම්මව දා ගත්තා. ඒ වෙන කොට අම්මා මැරිලා හිටියේ නෑ. ළමයා මිය ගිහිල්ලා. සැක හින්දා ත්‍රීවිල් එකේ දාගෙන අඹන්පොළ ඉස්පිරිතාලෙට අරගෙන ආවා. ඉස්පිරිතාලෙන් ළමයාව පරීක්ෂා කරලා බලලා මියගිය බව වෛද්‍යවරයා කිව්වා."
නිකවලයාය මැඩියාව, මහව ලිපිනයෙහි පදිංචි මියගිය ඉනෝකා කුමාරි මහත්මියගේ පුතා වන අබේරත්න හේරත් මුදියන්සේලාගේ උදකාන්ත අරුණ බණ්ඩාර අබේරත්න මහතා සාක්කි දෙමින්:
"අම්මා උදේ අක්කත් එක්ක වෙලට ගියා මුං වලට තෙල් ගහන්න. අඹකොලවැවේ වෙලේ තමා මුං වගා කරලා තියෙන්නේ. උදේ 7.45 විතර තමයි එයාලා ගෙදරින් ආවේ. මට පණිවිඩේ ලැබිලා මම වෙලට එනකොට ඇම්බියුලන්ස් එක ඇවිල්ලා තිබුණා. විල් එක තිබුණා විල් එකේ අක්කා අරගෙන ඉස්පිරිතාලෙට ආවා."
මරණ පරීක්ෂණ වාර්තා
අඹන්පොල හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය ඩී. එම්. රුවන් බණ්ඩාර දිසානායක මහතා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව, අවුරුදු 28ක් වයසැති තක්ෂිලා සුභාෂිණි තරුණියගේ මරණය වන අලි පහරදීමෙන් අක්මාවට හා පෙනහල්ල ඇතුළු ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බරපතළ හානි වීමෙන් සිදු වූ හදිසි මරණයක් බව තහවුරු කර ඇත.
මෙම සිද්ධියෙන් මිය ගිය මවගේ මරණ පරීක්ෂණය කුරුණෑගල රෝහලේ පැවැති අතර, කුරුණෑගල රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතාගේ අධික්ෂණය මත දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර කුරුණෑගල රෝහලේ හදිසි මරණ පරීක්ෂක ආර්. යූ.ඩී.කේ. අමරසිංහ මහතා විසින් නිකුත් කළ මරණ වාර්තාවේ සටහන් වන්නේ අලියකු පහරදීමෙන් සිදු වූ බහු විධ තුවාල නිසා සිදු වූ මරණයක් බවය.
මිය ගිය කාන්තාවගේ සැමියා වන නිමල් අබේරත්න මහතා මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින්, "ඊයේ උදේ හතයි හතළිස් පහට පමණ නෝනයි දුවයි යනවා වෙල පැත්තට. එතකොට පුතයි මමයි ගෙදර හිටියේ. මට දුරකථන ඇමතුමක් ආවා උදේ දහයට විතර වෙලට අලි ඇවිල්ලා ගිහින් ටිකක් බලන්න කියලා. මම එතනට ගියාට පස්සේ වෙලේ හිටපු අය කිව්වා නෝනයි දුවයි 1990 රථයකින් අඹන්පොළ රෝහලට අරන් ගියා කියලා. උදේ නවයයි කාලට විතර තමයි ඒක වෙලා තියෙන්නේ කියල දැන ගන්න ලැබුණා," යැයි පැවසීය.
මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි කම්පාවට පත්ව සිටින අතර, මිනිස් වන සතුන් අතර ගැටුම් අවම කිරීම සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කරනු ලැබේ.

gossiplanka image 1


gossiplanka image 2