
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ තහනම් කර ඇති ආරක්ෂිත පක්ෂීන් විශේෂ කිහිපයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු, යටියන්තොට ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, අළු ගිරවෙකු, ලබු ගිරවෙකු සහ සැළලිහිණියෙකු කූඩු කර සිටියදී සොයාගෙන ඇත. යටියන්තොට, සීපෝත් ප්‍රදේශයේ නිවෙස් දෙකක මෙම සතුන් රඳවා සිටි බව බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරීවරයා පැවසීය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 වන වගන්තියට අනුව මෙම පක්ෂීන් ආරක්ෂිත සතුන් වන බැවින්, ඔවුන්ව සන්තකයේ තබා ගැනීම, විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් බව නිලධාරීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, මාල ගිරවුන් (Rose-ringed parakeet) සන්තකයේ තබා ගැනීම එම පනතට අනුව වරදක් නොවන බවද ඔවුහු පැහැදිලි කළහ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා පසුගිය ජූලි 25 වන දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
බුලත්කොහුපිටිය වනජීවි කාර්යාලයේ ස්ථානභාර නිලධාරී, වන සත්ත්ව අඩවි සහකාර ඉමේෂ් ගුණතිලක බණ්ඩාර මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැටලීම සිදුකර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval