
චොකලට් ගෙඩියක් සොරකම් කළ බවට එල්ල වූ චෝදනාවක් මත පේරාදෙණිය නගරයේ වෙළෙඳසලක සේවකයින් විසින් සිදුකළ පහරදීමකින් 67 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඊරියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ධර්මසේන කුරේ මහතායි. පොලිස් විමර්ශනවලට අනුව, ඔහු කුලී වැඩ කරමින් සිය ජීවිකාව සපයාගෙන ගිය අයෙකු බව අනාවරණය වී ඇත.
පසුගිය 04 වන දින අදාළ චොකලට් සහ රසකැවිලි අලෙවි කරන වෙළෙඳසැලෙන් චොකලට් ගෙඩියක් සොරකම් කළ බව පවසමින් එහි සේවය කළ දෙදෙනෙකු විසින් කුරේ මහතාට පොල්ලකින් මෙන්ම අතින් පයින් ද පහර දී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
පහරකෑමෙන් අනතුරුව වෙළෙඳසැල ඉදිරිපිට ඇද වැටී සිටි මෙම පුද්ගලයාව සුවසැරිය ගිලන් රථයක් මගින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 12 වන දින ඔහු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, අගෝස්තු මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකර ඇත. මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ශරීර කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. පේරාදෙණිය පොලිසිය සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval