
අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළකරමින් පොළොන්නරුව-මහියංගණ මාර්ගයේ පිහිටි කළුකැලේ ප්‍රදේශයේදී 2018 වසරේදී උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් පොලිසිය ඔවුන්ගේ
මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අරලගංවිල පොලිසියේ එවක ස්ථානාධිපති ලෙස කටයුතු කළ එස්.එම්.එල්.ආර්. බණ්ඩාර මහතාගේ පෞද්ගලික මුදල්වලින් අදාළ ගොවීන්ට රුපියල් 30,000/- බැගින් වන්දි ගෙවන ලෙස නියෝග කළේය.පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආර්.ඒ. ගාමිණී ජයරත්න සහ එච්.ආර්. එරන්ද නමැත්තන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් පසුව මෙම නියෝගය ප්‍රකාශයට පත්කෙරිණි.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්ය. පොලිසිය ඉල්ලා සිටි පමණින් යම් පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරුන් කටයුතු නොකළ යුතුයි.
සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීම සඳහා පොලිසිය විසින් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් විචක්ෂණශීලීව තීරණ ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරිම අනිවාර්ය අවශ්‍යතාවකි.ඇප පනත මගින් පිළිගෙන ඇති පරිදි ඇප ලබා දීම සම්මතය බවත් ඇප දීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය විය යුතු බව සඳහන් කළ විනිසුරුවරයා මහේස්ත්‍රාත්වරයකු ඇප දීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකළ යුත්තේ පොලිසියේ ඉල්ලීම මත පමණක් නොව අපරාධ යුක්තියේ අරමුණු වලට අනුකූලව බවත් සඳහන් කර සිටියේය.
අධිකරණය මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට මහේස්ත්‍රාත්වරුන් දැඩි ලෙස දැනුවත් විය යුතු අතර,
නීතියෙන් පිළිගත් සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සීමා කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කළ යුතු බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. මෙම තීන්දුවේ අඩංගු මූලධර්ම පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම සඳහා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය අවශ්‍ය පියවර ගනු ඇතැයි මෙම අධිකරණයේ අපේක්ෂාව බවත් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සිය තීන්දුවේ සඳහන් කර ඇත.
එසේම මහජන උද්ඝෝෂණ විසුරුවා හැරිය යුත්තේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දැනුවත් කිරීම අවශ්‍ය බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කර සිටියේය. ඊට අමතරව වල් අලි ගම් වැදීම වැළැක්වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටද නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම නඩු තීන්දුවේ පිටපත් අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා, පොලිස්පතිවරයා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අරලගංවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශ්වයන්ට යොමු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
( රන්ජන් කටුගම්පොළ)
Comments
Post a Comment
Your comment will be visible after approval