the-murderer-of-the-dehiwala-youth-was-killed-in-a-shootout-in-kahathuduwa

 දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සමග අද (25) අලුයම කහතුඩුව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබේ.



ඉකුත් 18 වනදා දෙහිවලදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක්, අද අලුයම 4:30ට පමණ කහතුඩුව, පාලගම, කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂාවට ලක්කර ඇත. එම අවස්ථාවේදී එහි සැඟවී සිටි සැකකරු නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති අතර, STF නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් ඔහු මියගොස් තිබේ.



මෙම වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. මියගිය සැකකරුගේ මෘත දේහය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෑතර රෝහලේ තැන්පත් කර තිබේ.

 

පසුගිය ජූලි දහඅට වන දා දෙහිවල දුම්රියපොළ ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය පසුව සොයාගෙන තිබුණි. අපරාධකරුවන් විසින් පලායාම සඳහා යොදාගත් එම යතුරුපැදිය, පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට දමා ගොස් තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරියෙකු විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. එම ස්ථානයේ රතු පැහැති ආරක්ෂක හිස් වැස්මක්ද තිබී හමු විය.

සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුනේ යතුරුපැදියට සවිකර තිබූ අංක තහඩුව ව්‍යාජ එකක් බවත්, එය මෝටර් රථයකට අයත් ලියාපදිංචි අංකයක් බවත් ය. සිද්ධිය වූ ස්ථානයට කොළඹ ඇඟිලි සටහන් කාර්යාංශයේ නිලධාරීන් ද කැඳවා වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලදී.

වෙඩි ප්‍රහාරයට ලක්වූයේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සුදත් කුමාර නමැති දෛනිකව මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයෙකි. ඔහුට කිසිදු තර්ජනයක් හෝ අපරාධ චෝදනාවක් මින් පෙර වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි. වෙඩික්කරු පා ගමනින් පැමිණ, මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි ව්‍යාපාරිකයා ඉලක්ක කර වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති අයුරු ආසන්නයේ තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණි.

එල්ල වූ වෙඩි ප්‍රහාර දෙකක් තුවාලකරුගේ උරහිසට සහ ඇලපතට වැදී ඇති අතර, අනෙක් ප්‍රහාර දෙක මෝටර් රථයට වැදී තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු දිව ගොස් නවත්වා තිබූ යතුරුපැදියක නැගී තවත් පුද්ගලයෙකු සමග පළාගොස් ඇත. බරපතළ තුවාල ලබා නොසිටි ව්‍යාපාරිකයා, එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු විසින් ඔහුගේ මෝටර් රථයෙන්ම කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාගේ ඥාතිවරියක සමග විවාහ වී පසුව දික්කසාද වී ඇති මෙම ව්‍යාපාරිකයා, බඩෝවිට අසංක නැමැත්තාගේ ද සමීප ඥාතියෙකු බවට තොරතුරු ලැබී ඇත. බඩෝවිට අසංකට රිදවීම අරමුණු කරගනිමින් කොස් මල්ලි නැමැත්තාගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කර තිබේ.