tangalle-anti-corruption-oic-sexually-assaults-female-constable

තංගල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා, කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික හිංසනයක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර තිබේ. තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මුදා හරින ලෙස පසුගිය 15 වන දා නියෝග කරන ලදී.



මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේ තංගල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ රංගන නමැති උප පොලිස් පරීක්ෂකවරයාය.

තම ඒකකයේම සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැණ වැදී ලිංගික අතවර කළ බවට චෝදනා කරමින්, අදාළ නිලධාරිනිය විසින් පසුගිය 12 වන දින තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට සහ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ලැබුණු පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී. එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස, සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව 14 වන දා සවස් කාලයේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි. පසුව, 15 වන දින සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.