තම පාපැදිය අලංකාර කිරීමට සූදානම් වීමේදී ඇඹරුම් යන්ත්‍රයක (ග්‍රයින්ඩර්) තලයක් කැඩී ගොස් හදවතේ ඇනීමෙන් පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝචනීය පුවතක් කටාන ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ කටාන, කඳවල ප්‍රදේශයේ පදිංචිව සිටි දොන් පසිඳු සංජිව අලහකෝන් නම් සිසුවාය. කඳවල ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු, පසුගිය සිකුරාදා සිය මාමාට අයත් නිවසේ පිහිටි කාර්මික වැඩපොළේදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
මාමා නිවසින් බැහැරව ගිය අවස්ථාවක, පාපැදිය සරසා ගැනීම සඳහා ප්ලාස්ටික් බටයක් කපමින් සිටියදී ඇඹරුම් යන්ත්‍රය ක්‍රියා විරහිත වී මෙම අනතුර සිදුව ඇති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත.
අනතුරෙන් පසු වහාම මීගමුව රෝහලට ඇතුළත් කළ ද සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ. පෙරේදා (12) මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිමාල් චන්ද්‍රකාන්ත මහතා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී, ඇඹරුම් යන්ත්‍රයේ තල කැබැල්ල හෘදය වස්තුවට ඇතුළු වීමෙන් සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඇතිවූ අධික අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතුව බවට තහවුරු කර ඇත.
සිසුවාගේ මාමා නැවත නිවසට පැමිණෙන විට ඔහු සිහිසුන්ව ඇද වැටී සිටිනු දැක ඇති අතර, වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබමින් සිටියදී පැය කිහිපයක් ඇතුළත ඔහු මියගිය බව පොලිසිය සඳහන් කරයි.
මියගිය සිසුවාගේ පියා ඇඟලුම් කම්හලක සේවය කරන අතර, ඔහුගේ මව දීර්ඝ කාලයක සිට රෝගාතුරව පසුවන බවට තොරතුරු වාර්තා වේ. කටාන පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක සේනාරත්න සහ පොලිස් සැරයන් දීපාල් (12478) යන නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval