sri-lankan-father-refuses-to-give-birth-to-filipino-womans-child

 ඩුබායිහිදී හඳුනාගත් ශ්‍රී ලාංකික පුරුෂයෙකුගෙන් තමන්ට ලැබුණු දරුවාට ඔහුගේ වාසගම ලබා දීමට එම පුද්ගලයා මැළිකමක් දක්වන බව පවසමින් 26 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවක් පෙරේදා (30) දින කඩවත පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.



පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, මෙම පිලිපීන කාන්තාව සහ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ ශ්‍රී ලාංකිකයා ඩුබායි රාජ්‍යයේදී හඳුනාගෙන ඇත. පසුව ඔවුන් දෙදෙනා එහිදී නීත්‍යනුකූල විවාහයකින් තොරව අඹුසැමියන් ලෙස කලක් ජීවත් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

අදාළ ශ්‍රී ලාංකිකයා නැවත මෙරටට පැමිණීමෙන් අනතුරුව,

ගැබිනියකව සිටි මෙම පිලිපීන ජාතික කාන්තාවද පසුගිය මස දහවැනිදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිය දරුවා මෙරටදී ප්‍රසූත කිරීමෙන් අනතුරුව ඇය දරුවාගේ පියාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

දරුවාගේ උප්පැන්න සහතිකයට පියාගේ වාසගම යෙදීම සඳහා ඇය සිය ශ්‍රී ලාංකික සහකරුගෙන් ඉල්ලීමක් කර ඇති නමුත්, ඔහු ඒ සඳහා අකමැත්තක් සහ මැලිකමක් දක්වා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ නීතියේ පිහිට පැතූ ඇය පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති කඩවත පොලිසිය, පැමිණිලිකාර පිලිපීන කාන්තාව සහ චෝදනා ලැබූ ශ්‍රී ලාංකික පුද්ගලයා යන දෙදෙනාම පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් පැමිණිල්ල විභාග කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කළේය.