
ඉන්දියාවේ හරිද්වාර්හි පිහිටි සුප්‍රසිද්ධ මාන්සා දේවි කෝවිලේ අද (2025 ජූලි 27) උදෑසන ඇතිවූ මහා තෙරපීමකින් අවම වශයෙන් බැතිමතුන් හය දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ශ්‍රාවන් ශුද්ධ වූ මාසය තුළ වන්දනාකරුවන් විශාල වශයෙන් රැස්වන සමයක මෙම ශෝචනීය සිදුවීම වාර්තා විය.
මූලික වාර්තාවලට අනුව, මෙම අනතුරට හේතු වී ඇත්තේ කෝවිලට යන පියගැටපෙළ මාර්ගයේ අධි වෝල්ටීයතා විදුලි රැහැනක් කැඩීයාමක් හෝ විදුලි සැර වැදීමක් පිළිබඳව පැතිර ගිය අසත්‍ය කටකතාවකි.
මෙම කටකතාවත් සමග, පටු මාර්ගයේ දැඩි ලෙස ගැවසෙමින් සිටි ජනතාව අතර ඇතිවූ හදිසි භීතිය මාරාන්තික තෙරපීමකට මග පාදා තිබේ.
මෙම තෙරපීම උදෑසන 9ට පමණ සිදුව ඇත්තේ කඳු මුදුනේ පිහිටි සිද්ධස්ථානය වෙත ගමන් කරමින් සිටි දහස් ගණනක් බැතිමතුන් පෝලිමේ රැඳී සිටින අතරතුරදීය. සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ ජනතාව සෑම අතටම තෙරපෙමින් සහ තල්ලු කරගනිමින් කෑගසන ආකාරයත් සමග දැඩි ව්‍යාකූල තත්වයක් හටගත් බවයි. ප්‍රාන්ත ආපදා ප්‍රතිචාර බලකාය, ප්‍රාදේශීය පොලිසිය සහ ගිනි නිවන ඒකකය ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී තුවාලකරුවන් රෝහල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
උත්තරාඛාන්ඩ් ප්‍රාන්ත මහ ඇමති පුෂ්කර් සිං ධාමි මහතා සිය ශෝකය පළ කර ඇති අතර, තත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන බවත් තහවුරු කළේය. ජනතාව භීතියට පත්කරන කටකතා පතුරුවන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
මෙම ඛේදවාචකය, ඉන්දියාවේ මහා ආගමික උත්සව අවස්ථාවලදී, විශේෂයෙන්ම ශ්‍රාවන් වැනි වන්දනා සමයන්හිදී ජනකාය කළමනාකරණය සහ ආරක්ෂක විධිවිධාන පිළිබඳව යළිත් වරක් බරපතල කනස්සල්ලක් මතුකර තිබේ. හරිද්වාර්හි බිල්වා පර්වාත් කඳු මුදුනේ පිහිටි මෙම මාන්සා දේවි කෝවිල, ප්‍රධාන ශක්ති වන්දනා ස්ථානයක් සහ 'සිද්ධ පීඨයක්' ලෙස සැලකෙන අතර, බැතිමතුන්ගේ පැතුම් ඉටුකරන පූජනීය ස්ථානයක් ලෙස ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇත.




Comments
Post a Comment
Your comment will be visible after approval