
මහර මහේස්ත්‍රාත්වරියකගේ නිල නිවසට ඇතුළු වී රුපියල් ලක්ෂ දාහතකට අධික වටිනාකමකින් යුතු දේපළ සොරකම් කිරීම, ඊට ආධාර අනුබල දීම සහ සොර බඩු මිල දී ගැනීම යන චෝදනාවලට අදාළව පුද්ගලයන් හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඩවත පොලීසිය නිවේදනය කරයි.
මෙම සොරකම පසුගිය මැයි මස 26 වන දින කිරිල්ලවල, හල්කොටුව ප්‍රදේශයේ පදිංචි මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මියගේ නිවසේදී සිදුවී ඇත. සොරුන් විසින් නිවසේ තිබූ රන් ආභරණ, ලැප්ටොප් පරිගණකයක්, මුදල් මෙන්ම මහේස්ත්‍රාත්වරියගේ ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ද සොරකම් කරගෙන ගොස් තිබූ බවට පොලීසියට පැමිණිලි කර තිබුණි.
විමර්ශනවලදී හෙළිවී ඇති විශේෂ කරුණක් නම්, මෙම සොරකම සිදුවන අවස්ථාවේ මහේස්ත්‍රාත්වරියගේ නිවස සඳහා ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යොදවා තිබීමයි. මෙම ආරක්ෂාවද නොතකා ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ සොරකම සිදුකර ඇති බවට පොලීසිය තහවුරු කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සොරකම සිදුකළ ප්‍රධාන පුද්ගලයා සහ ඔහුට ආධාර කළ අයෙකු, සොරකම් කළ භාණ්ඩ අලෙවි කිරීමට සහාය වූ තවත් තිදෙනෙකු සහ එම සොර බඩු මිලදී ගත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු සිටින බව විමර්ශන නිලධාරීහු පවසති.
ඇඹරළුව, වෑබඩ, පහළ ඉඹුල්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි වයස අවුරුදු 25ත් 40ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ සහයකයා හෙරොයින් මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහිවූවන් බවද හෙළිවී ඇත.
මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව, කඩවත පොලීසියේ වැඩබලන ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක විතානආරච්චි මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක අභිෂේක් කරුණාතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ. සොරකම් කරන ලද දේපළවලින් කොටසක් මේ වනවිට සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval