රුසියාවේ ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සඳුදා දිනයේ වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් කිසිදු හේතුවක් නොදක්වා, පැය කිහිපයකට පෙර ඔහුව එම ධුරයෙන් නෙරපා හැර තිබුණි.
මොස්කව් නුවරට නුදුරු ඔඩින්ට්සෝවෝ ප්‍රදේශයේදී ස්ටාරොවොයිට් මහතා මියගොස් සිටියදී සොයාගත් බව බලධාරීහු ප්‍රකාශ කළහ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ තොරතුරු රැස් කරමින් පවතින බව සඳහන් වේ. ස්ටාරොවොයිට්ගේ මළ සිරුර ඔහුගේ මෝටර් රථය තුළ තිබී හමුවූ බව රුසියානු විමර්ශන කමිටුව දැනුම් දී ඇත.
ස්ටාරොවොයිට් වෙනුවට හිටපු ආණ්ඩුකාරවරයෙකු වන ඇන්ඩ්‍රේ නිකිටින් තාවකාලික ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත. ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත්වීමට පෙර ස්ටාරොවොයිට් වසර පහක් පුරා යුක්රේන දේශ සීමාවට යාබද කර්ස්ක් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළේය.
රුසියානු මාධ්‍ය වාර්තාවලට අනුව, ස්ටාරොවොයිට්ගේ ධුරයෙන් පහ කිරීමට හේතු වී ඇත්තේ ජූලි 5-6 දිනවල සිදුවූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර බව විශ්වාස කෙරේ. මෙම යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රට පුරා ගුවන් ගමන් 300ක් පමණ අවලංගු කිරීමට සිදුවී තිබුණි. යුක්රේන ප්‍රහාරවලදී රුසියාවේ උස්ට්-ලුගා වරායේ තිබූ ටැංකියක් ද පුපුරා ගොස් ඇත.
මෙම පිපිරීම හේතුවෙන් ජූලි 6 වන දින ඇමෝනියා වායුව කාන්දු වීමක් සිදුවූ අතර, එය තත්ත්වය තවදුරටත් උග්‍ර කළේය. ඔහු රහස් තොරතුරු විරුද්ධවාදීන්ට දුන් බවට කතා පැතිරිණි.
එමෙන්ම, ස්ටාරොවොයිට් ධුරයෙන් පහ කිරීම කර්ස්ක් හි දූෂණ සිද්ධීන් සමඟ ද සම්බන්ධ කෙරේ. ස්ටාරොවොයිට් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී මාස කිහිපයකට පසු, යුක්රේන හමුදා එම ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කළ අතර එය දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම විදේශීය ප්‍රහාරය විය. එම කාල වකවානුවේදීම ස්ටාරොවොයිට්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබුණි. ඔහුගෙන් පසුව කර්ස්ක් හි නව ආණ්ඩුකාරවරයා වූ ඇලෙක්සි ස්මිර්නොව්ට ද අප්‍රේල් මාසයේදී මුදල් වංචා කිරීමේ චෝදනාවක් එල්ල විය.