මතභේදයට තුඩු දී ඇති නෞකා බහාලුම් නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුව සිය සොයාගැනීම් ඇතුළත් වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද
ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ක්‍රියාවලියට කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට හෝ තොරතුරු වසන් කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බවට සහතික විය. විනිවිදභාවයෙන් යුතුව සියලු කටයුතු සිදු කරන බවද ඔහු පැවසුවේය.
ජනාධිපතිවරයාගේ නියෝග මත මෙම ගැටලුව විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් අදාළ කමිටුව, පසුගිය ජනවාරි 30 වන දින පත් කරන ලදී.