principal-bandaranaike-expelled-from-school-amid-protests-by-parents-of-former-students

 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව ඊයේ (14) දින පැවති දැවැන්ත විරෝධතාවක් හේතුවෙන්, ඔහුට පොලිස් ආරක්ෂාව යටතේ පාසලෙන් පිටව යාමට සිදු විය. 



පාසලේ අධ්‍යාපන කටයුතු අඩපණ කරන බවට චෝදනා කරමින් දෙදහසකට අධික ආදි ශිෂ්‍යයන් සහ මවුපියන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. විරෝධතාවට සහයෝගය දක්වමින් ගම්පහ නගරයේ කළු කොඩි ඔසවා තිබූ අතර, විදුහල්පතිවරයා පාසලෙන් ඉවත්ව යන මොහොතේ ප්‍රදේශවාසීන් විසින් රතිඤ්ඤා දල්වා සිය ප්‍රතිචාරය පළ කිරීමද දක්නට ලැබිණි. මෙම අවස්ථාවේදී පාසලේ සිසුන් ද පන්ති කාමරවලින් ඉවත්ව විරෝධතාවට එක්ව සිටියහ.



මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් මාස තුනක කාලයක් තිස්සේ බලධාරීන් දැනුවත් කළද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව විරෝධතාකරුවෝ සඳහන් කළහ. සිද්ධිය වූ ස්ථානයේ නීතිය හා සාමය සුරැකීම සඳහා ගම්පහ පොලිස් ස්ථානාධිපති මොහාන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද යොදවා තිබිණි.

බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එරංග අධිකාරි මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, සිසුන් 5,500ක් ඉගෙනුම ලබන පාසල විනාශ මුඛයට යෑම වැළැක්වීම මෙම උද්ඝෝෂණයේ අරමුණ බවයි. වත්මන් විදුහල්පතිවරයාට කිසිදු පරිපාලන අත්දැකීමක් නොමැති බවත්, ඔහු යටතේ පාසලේ අධ්‍යාපනය කඩාවැටෙමින් පවතින බවත් ලේකම්වරයා චෝදනා කළේය. ආදි ශිෂ්‍යයන්ගේ මූල්‍ය පරිත්‍යාග මත දියුණු වූ පාසල තවදුරටත් අගාධයට යෑමට ඉඩ දිය නොහැකි බැවින්, දක්ෂ හා සුදුසුකම් ලත් විදුහල්පතිවරයෙකු පත් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6


gossiplanka image 7