රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු මත් කරල් තොගයක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තහවුරු කරයි. මෙම වැටලීම 28 වැනි දින උදෑසන සිදු කර ඇත්තේ සැකකාර කොස්තාපල්වරයාගේ නිවස ගබඩාවක් කරගනිමින් පවත්වාගෙන ගිය මත් කරල් තොගයක් ඉලක්ක කරමිනි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්, ඔහුගේ 34 හැවිරිදි බිරිඳ සහ ජාවාරම සඳහා මත් කරල් සැපයූ බවට චෝදනා එල්ල වූ 49 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් සතුව තිබී මිලිග්‍රෑම් 150 වර්ගයේ මත් කරල් අඩංගු පෙට්ටි 21ක් සහ මිලිග්‍රෑම් 300 වර්ගයේ මත් කරල් අඩංගු පෙට්ටියක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, එහි තිබූ සම්පූර්ණ මත් කරල් 1,330,420ක ප්‍රමාණය පොලිස් භාරයට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශය විසින් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සාර්ථකව සිදුකර ඇත. එම තොරතුරුවලින් හෙළිවී ඇත්තේ බෙල්ලන්විල, ජය මාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මෙම පොලිස් නිලධාරියා සිය නිවස මත් කරල් ගබඩාවක් ලෙස භාවිත කරමින් දීපව්‍යාප්ත බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක කරන බවයි.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ වසර 14ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති මෙම කොස්තාපල්වරයා, ජාවාරමේ ප්‍රධාන සැපයුම්කරු වන ෆාමසි හිමිකරුවෙකු විසින් ලබාදෙන මත් කරල් මෙලෙස සිය නිවසේ ගබඩා කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහැර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval