රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා වෙත බාහිරින් ආහාර සැපයීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ මහතාගේ පුත්‍රයා විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 07 වැනිදා මෙම අවසරය ලබා දී ඇත.
මීට පෙර ඒ මහතාගේ හිටපු ලේකම්වරයෙකු විසින් ද එවැනිම ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණ ද, බන්ධනාගාර නීති රෙගුලාසිවලට අනුව රැඳවියෙකුගේ පවුලේ සාමාජිකයෙකු නොවන පුද්ගලයෙකුට එවැනි ඉල්ලීමක් කළ නොහැකි බැවින් බන්ධනාගාර බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, නව අනුමැතිය ලැබෙන තෙක්, එනම් පසුගිය 06 වැනිදා දක්වා චන්ද්‍රසේන මහතා බන්ධනාගාරය මගින් සැපයෙන සාමාන්‍ය ආහාර වේල ලබාගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනුණේ 2015 ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ තොගයක් බෙදා දීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළවය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය 04 වැනිදා ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලදී.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ලබන18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval