bribery-investigations-into-two-kandy-principals

 මහනුවර පිහිටි ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාල දෙකක විදුහල්පතිනියන් දෙදෙනෙකුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර ඇත.



මෙම එක් විදුහල්පතිනියකට අදාළ විමර්ශනයේ වත්මන් තත්ත්වය පිළිබඳව, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කරුණු විමසීමක් සිදුවිය. එහිදී ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරන ලදී.



ඊට පිළිතුරු ලබාදුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණයට අදාළ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි. අදාළ විදුහල්පතිනියට විරුද්ධව දෙමාපියන්ගෙන් මෙන්ම ආදි ශිෂ්‍යාවන්ගෙන් ද පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේය.

මේ අතර අනෙක් ඉහළ පෙළේ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව ද දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යංශයට සහ අල්ලස් කොමිසමට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එම චෝදනාවලට අනුව, ඇය පාසලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ පහළොව දක්වා වන මුදලක් අය කරන බව සඳහන් වේ.

පැමිණිලිකාර දෙමාපියන් පෙන්වා දෙන පරිදි, විදුහල්පතිනිය තමාට හිතවත් කොන්ත්‍රාත්කරුවෙකුට අයත් බැංකු ගිණුමකට අදාළ මුදල් බැර කරවා ගන්නා අතර, දින කිහිපයකට පසු එම මුදල් ඇයගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාගන්නා බවට චෝදනා එල්ල වී ඇත.



මෙම ක්‍රියාව සඳහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඉහළ නිලතල දරන නිලධාරිනියන්ගේ ද සහාය ලැබෙන බව ඇතැම් ආදි ශිෂ්‍යාවෝම පවසති. අල්ලස් කොමිසම මෙම විමර්ශනය කඩිනමින් නිමා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසන ඔවුහු, මීට පෙර ද මෙවැනිම සිදුවීම්වලට සම්බන්ධ වූ මෙම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියන් කිහිප දෙනෙකුටම ජීවිතාන්තය දක්වා සිය විශ්‍රාම වැටුප අහිමි වූ බව ද සිහිපත් කරති.