three-police-officers-suspended-for-asking-for-free-service-from-matara-spa-lady

 මාතර, වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක කළමනාකාරවරිය සමග බහින්බස් වීමකින් අනතුරුව එහි සේවාවන් නොමිලේ ලබා ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.



මාතර කොට්ඨාශය භාර වැඩබලන පොලිස් අධිකාරිවරයා විසින් මෙම වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර තිබේ.



මෙම සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද මූලික විමර්ශනයකදී අදාළ නිලධාරීන් තිදෙනා චෝදනාවන්ට වරදකරුවන් බවට තහවුරු වී ඇත.

පොලිස් විනයට හානි වන පරිදි හැසිරීම, නිල බලය පෞද්ගලික වාසි සඳහා යොදා ගැනීම, පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් වන ආකාරයේ හැසිරීම සහ දූෂිත ක්‍රියාවන්හි නිරත වීම යන චෝදනා මත ඔවුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මාතර කොට්ඨාශ බුද්ධි ඒකකයට, තිහගොඩ පොලිස් ස්ථානයට සහ මාවරල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිස් අධිකාරී කාර්යාලය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.