ඇණවුම් කළ භාණ්ඩය වෙනුවට වටිනාකමින් අඩු ව්‍යාජ භාණ්ඩයක් ලබාදී අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ පුද්ගලයෙකු මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ෆේස්බුක් දැන්වීමක් ඔස්සේ රුපියල් හැටදහස් නවසීයකට ඇණවුම් කළ ලැප්ටොප් පරිගණකයක් වෙනුවට රුපියල් පහළොස්දහසක් පමණක් වටිනා වෙනත් පරිගණකයක් ලබාදීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වාණිජ උපාධිධාරියෙකු වන 33 හැවිරිදි මෙම සැකකරු කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. කෑගල්ල, මොලගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පිරිවෙන් ගුරුවරයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.මෙම වංචාවට මුහුණ පෑ පිරිවෙන් ගුරුවරයා, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළකර තිබූ ආකර්ෂණීය දැන්වීමක් දැක ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට පෙළඹී තිබේ.
යාපනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන සංවර්ධන නිලධාරිනියක් විසින් පාවිච්චි කරන ලද බව කියන එම පරිගණකය, ඡායාරූප පරීක්ෂා කිරීමෙන් අනතුරුව කුරියර් සේවාවක් මගින් ගෙන්වා ගැනීමට ඔහු එකඟ වී ඇත. ඒ අනුව අදාළ රුපියල් හැටදහස් නවසීයක මුදල ගෙවා පාර්සලය ලබාගත් ගුරුවරයා, නිවසට පැමිණ එය විවෘත කිරීමේදී තමන් රැවටීමකට ලක්ව ඇති බව වටහාගෙන තිබේ. පසුව ඔහු අදාළ කුරියර් සමාගමෙන් විමසීමක් කළද, එවැනි භාණ්ඩයක් තම ආයතනය හරහා ප්‍රවාහනය නොකළ බවට ඔවුන් දැනුම් දී ඇත.
තවත් පුද්ගලයින් මෙවැනි වංචාවකට හසු වීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ගුරුවරයා, උපක්‍රමශීලීව වංචාකරු කොටුකර ගැනීමට සැලසුම් කර තිබේ. ඔහු නව දුරකථන අංකයක් භාවිත කරමින් නැවතත් එම දැන්වීමේ සඳහන් අංකයට ඇමතුමක් ගෙන, වෙනත් ගැනුම්කරුවෙකු ලෙස පෙනී සිටිමින් එම ලැප්ටොප් පරිගණකයම ඇණවුම් කර ඇත. භාණ්ඩය මාවනැල්ල නගරයේදී භාරගන්නා බවට වංචාකරුට දැනුම් දුන් ඔහු, ඒ පිළිබඳව මාවනැල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය දැනුවත් කර තිබේ.
සැලසුම් කළ පරිදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමඟ මාවනැල්ල නගරයට ගොස්, සැකකරුගෙන් පාර්සලය ලබාගන්නා අවස්ථාවේදීම ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු මෙම වංචාව සිදුකළ ආකාරය පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබේ. විවිධ සමාගම් සඳහා වාහන හා ගොඩනැගිලි ආකෘති නිර්මාණය කරන සැකකරු, එම නිර්මාණ කුරියර් කිරීම සඳහා නීත්‍යානුකූල කුරියර් සමාගමකින් ලබාගත් බාකෝඩ් අංක සහ බිල්පත් පනහක තොගයක් මෙම වංචනික ක්‍රියාව සඳහා යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇත. සැකකරු සහ අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මාවනැල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval