
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය’ යටතේ මෙරට ඇඟලුම් සඳහා පැනවීමට නියමිත 30%ක ඉහළ තීරු බද්ද අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත්, ඇමෙරිකානු ගැනුම්කරුවන් මෙරට ඇණවුම් අවලංගු කර අඩු තීරු බදු සහිත වෙනත් රටවල් වෙත යොමුවීමේ බරපතළ අවදානමක් පවතින බව ඇඟලුම් කර්මාන්තකරුවෝ අනතුරු අඟවති. මෙම නව තීරු බද්ද එළඹෙන පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක වී ඇත්තේ, ප්‍රධාන තරඟකාරී රටවල් සඳහා මීට වඩා අඩු බදු ප්‍රතිශතයන් හිමිවීම හේතුවෙනි. වියට්නාමය සඳහා පනවා ඇත්තේ 20%ක තීරු බද්දක් වන අතර, ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ඇතිවීමට නියමිත නව වෙළෙඳ ගිවිසුමක් යටතේ ඉන්දියාවට 20%ටත් වඩා අඩු තීරු බදු සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට එල්ල වන විශාලතම තර්ජනය ඉන්දියාවෙන් පැමිණෙනු ඇතැයි කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.
ඇමෙරිකානු වෙළෙඳපොළ මෙරට ඇඟලුම් කර්මාන්තයේ කොඳු නාරටිය වන අතර, පසුගිය වසරේදී උපයන ලද සමස්ත ඇඟලුම් අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7න් 40.04%ක ප්‍රතිශතයක්, එනම් ඩොලර් බිලියන 1.9ක්, ලැබී තිබුණේ ඇමෙරිකානු වෙළෙඳපොළෙනි. එමෙන්ම, මෙම වසරේ මුල් මාස පහ තුළදී උපයන ලද ඩොලර් බිලියන 2ක ඇඟලුම් ආදායමෙන් ඩොලර් මිලියන 746.53ක්ම උපයා ඇත්තේ ඇමෙරිකාවට කළ අපනයන හරහාය.
මෙරට ඇඟලුම් සඳහා දෙවැනි ප්‍රධාන වෙළෙඳපොළ වන එක්සත් රාජධානිය පසුගිය වසරේදී හිමි කරගෙන තිබුණේ 14.17%ක කොටසක් පමණක් වීමෙන්
ඇමෙරිකානු වෙළෙඳපොළේ ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ. මෑතකදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාද පෙන්වා දුන්නේ ඇමෙරිකාව යනු එක් රැයකින් ආදේශ කළ නොහැකි ප්‍රධාන වෙළෙඳපොළක් බවයි. කෙසේ වෙතත්, මෙම 30%ක තීරු බද්ද නියමිත දිනට පෙර අඩු කර ගැනීමට හැකිවනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය විශ්වාසය පළ කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval