මත්කුඩු'' "රටට කර ඇත්තේ මහ විනාශයකි. ඒ මතට ඇබ්බැහි වූවන් කරන අපරාධ දිනෙන් දින ඉහළ යෑම හේතුවෙනි. එදා ලොකු මුදලකට මිනීමැරූ ඇතැම් පිරිස් අද අයිස් පැකට්ටුවකට දෙකකට පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට තරම් පෙලඹී සිටිති. දවසේ "කුඩු වේල'' සොයා ගන්නට ඔවුහු නොකරන දෙයක් නැති තරම්ය.
මෙලෙස තදින් මතට ඇබ්බැහි වී අපරාධවල නියැළුණු අඹු-සැමි යුවළක් ගැන තොරතුරක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ඉකුත්දා දැනගන්නට ලැබිණි. ඒ එම කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයකට ලැබුණු පැමිණිලි හේතුවෙනි. මෙම පැමිණිලි ලැබී තිබුණේ ගම්පහ, සීදුව, කඳාන සහ ජා-ඇළ පොලිස් ස්ථාන වෙත බව කියැවේ. මෙම පැමිණිලිවලින් කියැවුණේ තරුණියකගේ පහස ලබා ගන්නට ගොස් රන් ආභරණ, මිල මුදල්, ජංගම දුරකථන ඇතුළු සියලු සේසතම අහිමිකර ගැනීමේ සිදුවීම් කිහිපයකි.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට පෙනී ගියේ මෙම සිද්ධියට රට වටා පිරිස් මුහුණදී ඇතත් ලැජ්ජාව නිසා එම පිරිස් පොලිසියට පැමිණිලි කර නොමැති බවකි. අරුන්දික අතමිට සරු ව්‍යාපාරිකයෙකි. ඔහු මෝටර් රථ අමතර කොටස් මිලදී ගැනීම සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට සතියකට දෙකකට වරක් කොළඹට පැමිණෙන අයෙකි. පංචිකාවත්ත ප්‍රදේශයේ සැරිසරමින් අඩු මුදලකට මෝටර් රථ අමතර කොටස් මිලදී ගන්නා ඔහු එම අමතර කොටස් සිය රථයෙන්ම කුරුණෑගලට රැගෙන ගොස් වැඩි මුදලකට විකිණීම සිදු කරයි. ඉකුත් දිනෙක ඔහු කොළඹ, පංචිකාවත්තට පැමිණියේද එවන් අදහසකිනි. පැය කිහිපයකට පසු මිතුරකු හමුවූ ඔහු ජා-ඇළ ප්‍රදේශයට ගොස් එහි ස්ථාපිත අවන්හලකට රිංගුවේ හීන් අඩියකින් සප්පායම් වී සවස් වන විට අමතර කොටස් කිහිපයද රැගෙන යළි කුරුණෑගල බලායෑමේ අදහසිනි.
"වාහනෙත් එළවන්න තියෙනවානේ වැඩිය බොන්න බැහැ.පොඩි දෙකක් විතර ගහලා යමු" අරුන්දිකගේ කීමට මිතුරාද එකඟ වූ අතර අරක්කු වීදුරු දෙකතුනක් හිස් කිරීමෙන් පසු මිතුරාට සමුදුන් අරුන්දික සිය රථයට ගොඩවූයේ "ප්රැෆික්" එකට කලියෙන් කුරුණෑගල බලා යෑමේ අදහසිනි. ජා-ඇළෙන් ගමන් ඇරැඹූ රථය ඉදිරියට ඇදුණු අතර අරුන්දිකගේ දෙනෙත් මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමක් අසල රැඳී සිටි රූමත් තරුණියක අසල නතර වූයේ අහම්බෙනි. ඇය දුටු සැණින් ඔහුගේ මතකයට නැඟුණේ ඒ තමාගේ පැරැණි පෙම්වතිය බවකි. තිබූ මත්ගතිය ඔහුගේ සිතිවිලි අවුල් කර තිබිණි. රථය මාර්ගයේ අයිනට කර නතර කළ අරුන්දික රථයේ සයිඩ් කණ්ණාඩියෙන් බස් නැවතුමේ රැඳී සිටි තරුණිය දෙස දෙනෙත් අයා බලා සිටින්නට විණි. ඇයද හීන් සීරුවේ සිය රථය වෙත පැමිණෙන ආකාරය දුටු අරුන්දිකගේ සිතට දැනුණේ මහත් සතුටකි. "ඔයා නිරාශා නේද...?"
"අනේ නැහැ. ඔයාට වැරැදිලා..."
"එහෙමද... ඒකට කමක් නැහැ. ඔයා කොහෙද යන්න
"මම සීදුවට යනවා" "මම නිගම්බුවලට යන්නේ නඟින්න මම ඔයාව ඩ්‍රොප් කරන්නම්"
"කරදරයක් නැද්ද. අද බස් ටිකක් ලේට්..." "අයියෝ ඕක මොකක්ද, මමත් යන්නේ ඒ
පැත්තටනේ..."
තරුණිය අරුන්දිකගේ රථයට නැඟ ගත්තේ මුව පුරා සිනහවක්ද නඟමිනි... "කොහේද වර්ක්
කරන්නේ...
"මම ........... කම්පැණි එකේ. අද අපේ ට්‍රාස්පෝට් එක නැහැ. ඒකයි බස් එකේ යන්න ආවේ. බසුත් නැහැ.
එන ඒවාවලත් හොඳටම සෙනඟ. ඔයා හම්බ වුණු එක හොඳයි..." අරුන්දිකගේ යටිසිත සතුටින් ඉපිල ගොසිනි. තම පැරැණි පෙම්වතිය ඇය වගේම නොවේදැයි ඔහුට සිතිණි. ඒ ඇස් දෙක, ඒ සිනහව කෙතරම් අපූරුවට ඇය සතුව ඇත්දැයි ඔහුට සිතේ.
"ඔයාට පරක්කු වෙන්නේ නැත්නම් අපි මොනව හරි බීල යමු..."
අරුන්දික ගෙනා යෝජනාවට ඇගේ එතරම් කැමැත්තක් නොවූවද ටික මොහොතක් යද්දී ඇය ඊට නතු විණි.
"මම දන්න තැනක් තියෙනවා. මගේ යාළුවෙක්ගේ. එතැනට කවුරුත් එන්නේ නැහැ. කවුරු හරි දැක්කොත් හොඳ නැහැනේ. ඔයා කැමැති නම් එතැනට යමු..."
"ආ... හරි හරි අවුලක් නැහැ යමු." තරුණියගේ ඉල්ලීමට එකඟ වූ අරුන්දික ඇය විසින් පෙන්වූ හෝටලයක වත්තට සිය රිය ඇතුළු කරනුයේ මොහොතක් ඇය සමඟ තනි වීමේ අදහසිනි. හෝටල බිමට රථය ඇතුළු කළ අරුන්දික අමුත්තියද අතින් අල්ලාගෙන එහි වූ කාමරයකට යෑමට උත්සාහ කළා පමණි. සිහින් සිරුරක් සහිත පුද්ගලයකු කොහේදෝ සිට එතැනට කඩා වැදිණි.
"තෝ කොහේද යකෝ මගේ ගෑනිත් අරගෙන යන්නේ.." ඔහු පිහියක්ද අතැතිව අරුන්දිකට පහර දීමට සැරසුණු අතර අමුත්තියද ඉන් බියෙන් සලිත වී පැමිණ ඇත්තේ තම සැමියා බවත් කෑ කෝ නොගසා ප්‍රශ්නය විසඳා ගන්නා ලෙසත් අරුන්දිකට පවසන්නට වූවාය.
"තෝ මගේ ගෑනිත් අරන් හෝටල්වලට යනවා. වරෙන් යන්න පොලිසියට. ඒ සමඟ අරුන්දිකට දැනුණේ බියකි. පොලිසි ගියොත් තමාට අත්වන ලැජ්ජාව ගැන දත් අරුන්දික ඔහු සමඟ ප්‍රශ්නය ගොඩින් නිරාකරණය කිරීමට දැඩි උත්සාහයක් ගත් අතර එය අවසන් වූයේ අරුන්දික සන්තකයේ තිබූ ජංගම දුරකථනය සහ රුපියල් අසූදහසක මුදලද ඇගේ සැමියා විසින් බලහත්කාරයෙන් ලබා ගැනීමෙන් පසුවය.
කෙසේ වෙතත් සිද්ධිය බිරියට හෝ දරුවන්ට පැවැසීමට ගියහොත් විසුමක් නොවන බව දත් අරුන්දික ඇති වූ ලැජ්ජාව නිසාම ඒ බව සිය මිතුරකුට පැවැසූ අතර එම මිතුරා මේ බව දන්න කියන පොලිස් නිලධාරියකුට පැවැසීය. "ඔයා ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න. ඔය වගේ කේස් දෙක තුනක්ම අපිට ඇවිල්ලා තියෙන්නේ. සමහරක් අය ලැජ්ජාවට පැමිණිලි දාන්නේ නැහැ. බය නැතිව දාන්න. උන්ව අල්ල ගන්න පුළුවන්..." උසස් පොලිස් නිලධාරියාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කෙරුණු අතර එවන් පැමිණිලි කිහිපයක්ම ඒ වන විටත් බස්නාහිර උතුර පොලිස් කොට්ඨාසයේ පොලිසි හතරකට ඒ වන විටත් ලැබී තිබිණි. මෙම පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කළ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මෙම ක්‍රියාවේ යෙදෙන කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් පත් කරන ලදී. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වූ පදුමසිරි සහ ජයසේකරගේ නායකත්වයෙන් පත් කළ කණ්ඩායම සැකකාර කාන්තාව සොයා විමර්ශන ආරම්භ කළ අතර පැය කිහිපයකට පසු නිලධාරීන්ට තොරතුරක් ලැබිණි. ඒ ඇය කඩවත, ගණේමුල්ල පාරට හැරෙන හන්දියේ මී බස් නැවතුම්පොළ අසල තවත් මිනිස් ගොදුරක් ඩැහැගැනීමේ අරමුණෙන් රැඳී සිටින බව කියමිනි. වහා එම ස්ථානයට ගිය නිලධාරීන් බස් නැවතුමේ සිටි ඇය අල්ලාගත් අතර ඇය සන්තකයේ ඒ මොහොතේ හෙරොයින් අයිස් ග්‍රෑම් 5ක් සහ මිලිග්‍රෑම් 500ක් තිබිණි. ඇගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ඇගේ සැමියාද ඊට පැය කිහිපයකට පසු තොරණ හන්දිය අසලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි වන අතර එහිදී අනාවරණය වන්නේ මෙවන් කතාවකි.
තුසිත නමැති 36 හැවිරිදි සැමියා බොහෝ දෙනකු හඳුන්වනුයේ "තුයියා" යන අන්වර්ථ නාමයෙනි. 33 හැවිරිදි අනූෂා ඔහුගේ බිරිය වන අතර ඇයට සමහරු පවසන්නේ කුඩු දෝනි ලෙසිනි. කොටුගොඩ කයිතාන්ඩු මාවතේ කුලී පදනම මත නිවෙසක පදිංචිව සිටින මොවුන් තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අතර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ දෙදෙනාට කුඩු බීම සඳහා දවසකට රුපියල් විසිදාහක මුදලක් අවශ්‍ය බවකි.
මේ දෙන්නම මීට කලින් මත්ද්‍රව්‍යත් එක්ක පොලිසියට අහුවෙලා හිරේ ගිහින් ඇවිල්ලා ආයෙත් මේ වැඩේ කරලා කුඩු බොන්නේ. මේ මිනිහා කලින් බැඳලා හිටියේ ඔය ගෑනිගේ එක කුස උපන් අක්කව. එයත් කුඩු බොනවා. පස්සේ ඒ ගෑනිව අතහැරලා නංගිත් එක්ක පවුල් කන්නේ. ළමයි නෑ මේ දෙන්නට." ''මිනිහා ගෑනිව ලස්සනට අන්දලා ඔෆිස් යන කාන්තාවක් වගේ බස් නැවතුමක තියලා පාරේ එහා පැත්තට වෙලා බලාගෙන ඉන්නවා. මෙයාට රැවටුණු මිනිස්සු මෙයා ඔෆිස් එකක වැඩ කරන කාන්තාවක් කියලා හිතාගෙනයි කොහේට හරි අරගෙන යන්නේ. ඒ යන තැන මේ කාන්තාව එයාගේ මිනිහට හීන්සැරේ අල්ලයි...
ටෙලිෆෝන් කරලා කියනවා. නැත්නම් මිනිහා සිද්ධිය බලාගෙන ඉඳලා පස්සෙන් එනවා. ඇවිල්ලා හෝටල් කාමරයකට දෙන්නා ඇතුළු වුණු ගමන් කඩාවැදිලා මිනිහව බය කරලා අතේ තියන සල්ලි, දුරකථන, රත්රන් මාල, මුදු ගලවා ගන්නවා"
''පස්සේ ඒ මාල උකස් කරලා හරි සල්ලි අරන් දවසට රුපියල් විසිදාහක කුඩු බොනවා. සල්ලි වැඩිපුර අහුවුණොත් ඒ සල්ලිවලට කුඩු ගෙනත් විකුණලා ඒවලිනුත් අයිස් හරි කුඩු හරි ගහනවා. මේ දෙන්නට අහුවුණු කෙනෙක් ලැජ්ජාව නිසා පොලිසියට පැමිණිලි කරන්නේ නැහැ. අහුවුණු හුඟක් දෙනා දරුවෝ ඉන්න විවාහක පුද්ගලයන්. ඒ නිසා ඒ මිනිස්සු මුළු සේසතම මුන්ට දීලා බේරිලා යනවා. ඔය අතර්න් ලැබුණු පැමිණිලි හතරකට ක්‍රියාත්මක වෙලා තමයි අපි ජෝඩුව අත්අඩංගුවට ගත්තේ"
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.
සැකකරුගෙන් සහ සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු මෙලෙස කොල්ලකා ගත් රන් ආභරණ සහ ජංගම දුරකථන කිහිපයක් විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති අතර ඉන් බොහොමයක් තැරුව්කරුවන් මාර්ගයෙන් උකස් කර ඇති බවත් සඳහන්ය.සැකකාර අඹුසැමි යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
(කීර්ති මෙන්ඩිස්)
Comments
Post a Comment
Your comment will be visible after approval