shots-fired-at-a-house-in-akmeemana-area-galle

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට අද (23) අලුයම සිදු කළ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.


අද අලුයම 5.00ට පමණ සිදු වූ මෙම සිද්ධියෙන් කිසිවකුට තුවාල සිදු වී නොමැති බව වාර්තා වේ.

වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව, එම නිවසේ හිමිකරු මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන අයෙකු බව හඳුනාගෙන තිබේ. දින කිහිපයකට පෙර එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ගැටලුවක් මත සේවයෙන් ඉවත් කිරීමට සිදු වූ බවත්, ඒ සම්බන්ධයෙන් එම සේවකයා විසින් මෙම විධායක නිලධාරියාට දුරකථන ඇමතුම් මගින් තර්ජනය කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් නිලධාරියෙක්, "මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද

එම සේවකයා විසින් යැයි අපි සැක කරනවා. ඔහු විසින් කලින් තර්ජනාත්මක ලෙස හැසිරී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා," යැයි ප්‍රකාශ කළේය.
ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර, එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වේ.