president-to-germany-acting-ministers-appointed

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ (ජූනි 10) රාත්‍රියේ පිටත්ව ගියේ ය.



ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා හෙට ( ජුනි 11) සිට ජූනි 13 වන දා දක්වා ජර්මානු නිල සංචාරයේ නිරත වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.



ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන ශක්‍යතාවයන් සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

තව ද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන් මෙන් ම ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ද හමුවීමට නියමිත ය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගී වෙති.




ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු ද පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා මෙන් ම අමාත්‍ය විජිත හේරත් යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

ඒ අනුව, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පත් කර තිබේ.

gossiplanka image 1