අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමන්ගල ආරණ්‍යය සේනාසන භූමියේ තිබී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සොහොන් 14 ක් හමුවී ඇති අතර, එහි කැණීම් කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (2) ආරම්භ කෙරිණි.
මෙම කැණීම් ආරම්භක අවස්ථාවට සහභාගි වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා සොහොන් සංකීර්ණය පිළිබඳව විස්තරාත්මක තොරතුරු මාධ්‍ය වෙත සපයන ලදී.
"අම්පාර සමන්ගල සොහොන් භූමිය කියන ප්‍රදේශයේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සුවිශේෂ කැණීමක් ආරම්භ කළා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසයට අයිති සොහොනක් අනාවරණය කරගෙන එය නිරාවරණය කිරීමේ කටයුතුවල අපි නියැලෙනවා. මෙම සොහොන් සංකීර්ණය තියෙන්නේ ගලක් උඩ. මෙය සුවිශේෂ සොහොන් සංකීර්ණයක්," යැයි මහාචාර්ය මැන්දිස් මහතා පැවසීය.
මෙම සොහොන් සංකීර්ණය පිළිබඳව තවදුරටත් කරුණු දක්වමින්,
"විශේෂයෙන් මේවා ශිලා මණ්ඩල නැත්නම් ගල්ගොඩක් එකතු කරලා තමයි සකස් කරලා තියෙන්නේ. මේ සොහොන ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙගලිතික කියන සුසාන වර්ගයට අයත් සොහොනක්. දැනට මේක කාර්තු හතරකට බෙදලා ඒ කාර්තු අනුව කැණීම් කරගෙන යනවා. මේ වනවිට යම් යම් දත්ත මේ සොහොන අභ්‍යන්තරයෙන් හඳුනාගෙන තියෙනවා," යැයි ඔහු පැහැදිලි කළේය.
මෙතෙක් සිදුකළ කැණීම්වලදී හමුවී ඇති සුවිශේෂී සොයාගැනීම් පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය මැන්දිස් මහතා, "ඒ අතර සුවිශේෂ කාරණා කිහිපයක් මෙතැනදි පැහැදිලි කළ යුතුව තිබෙනවා. කාල රක්ත වර්ණ මැටි මෙවලම් හමුවී තිබෙනවා. සාමාන්‍ය මැටි මෙවලම් හමුවෙලා තියෙනවා. ඊට අමතරව වීදුරුවලින් නිර්මාණය කරපු වළලු කොටස් කිහිපයක් සමග ඊට අමතරව සුවිශේෂ මයික්‍රෝතිලක ශිලා මෙවලම් සොහොන අභ්‍යන්තරයෙන් හමුවී තිබෙනවා," යැයි පැවසීය.
මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීමේ ඓතිහාසික වැදගත්කම අවධාරණය කරමින් ඔහු මෙසේද පැවසීය: "මෙහි තිබෙන සුවිශේෂ කාර්ණය තමයි අම්පාර සමන්ගල ගත්තාම ක්‍රි. පූර්ව තුන්වැනි සියවසෙන් පසුව ඉතාමත්ම දියුණු ලෙන් ආරාම සංකීර්ණයක් නිර්මාණය වෙනවා.
මේ ලෙන් ආරාම සංකීර්ණය නිර්මාණය වීමේදී මූලික පදනම අප විශ්වාස කරනවා පූර්ව ඓතිහාසික සංස්කෘතියෙන් ලැබෙන්න ඇතැයි කියලා. විශේෂයෙන්ම යකඩ තාක්ෂණය පාවිච්චි කරපු, මැටි මෙවලම් නිර්මාණය කරපු, ඒ වගේම වීදුරු පබලු නිර්මාණය කරපු සංස්කෘතික යුගය අපි හඳුනාගන්නවා."
ඉදිරි සැලසුම් පිළිබඳව සඳහන් කරමින් මහාචාර්ය මැන්දිස් මහතා, "මෙම කැණීම් මගින් අනාවරණය කර ගන්නා දත්ත, විශේෂයෙන් ශිලා මණ්ඩල සොහොන් අභ්‍යන්තරය මත මැටි බඳුන්වල තැන්පත් කර තිබෙන අළු හෝ අඟුරු අපට හම්බවෙයි. ඒවා අපි ඇමරිකාවේ බීටා ඇනල්ටික් ආයතනයට යවලා කාල නිර්ණය කරලා මේ ප්‍රදේශයේ සංස්කෘතිය ඓතිහාසික යුගයේ කොයි කාලයේ ස්ථාපිත වුණේ කියන කාරණය පැහැදිලිව නිශ්චය කර ගන්න කටයුතු කරනවා," යැයි වැඩිදුරටත් පැවසීය.
මෙම සොයාගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික කාලය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කරන අතර, එමගින් දිවයිනේ පැරණි ජනාවාස සහ සංස්කෘතික රටා පිළිබඳව අලුත් අවබෝධයක් ලබාගැනීමට උපකාරී වනු ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කණ්ඩායම විසින් ඉදිරි සති කිහිපය තුළ මෙම ස්ථානයේ තවදුරටත් පර්යේෂණ සිදුකිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval