please-save-us-mahi-and-nali-cry
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන දෙදෙනා බැලීමට ගිය මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඔවුන් තමන් බේරාගන්නා ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ. මෑතකදී බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලැබූ මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනා මානසිකව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ඔවුන් හමුවීමට ගිය මන්ත්‍රීවරුන් පවසා ඇත.
හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය සහ නීතිඥ අනුරාධ ජයරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවී ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, එම හමුවීම් අතරතුරදී දෙදෙනාම තමන් බේරා ගැනීමට උපකාර කරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් කර ඇත.
එම සිද්ධිය පිළිබඳව කතා කරමින් හමුවීමට සහභාගී වූ එක් මන්ත්‍රීවරයෙක් පවසා ඇත්තේ, "බන්ධනාගාරයේ වෙනත් ස්ථානයකට කැඳවාගෙන ආ අවස්ථාවේදී අපි ඒ දෙන්නා හම්බවුණා. දෙත්තම ජම්පර ඇඳගෙන හිටියේ. හොඳටම මානසිකව ඇද වැටිලා. දැක්කම හරි කනගාටු හිතෙනවා. මොනවා කරන්නද? කොහොම වුණත් අධිකරණයෙන්ම තමයි දෙන්නටම යම් සහනයක් ගන්න වෙන්නේ" යන්නයි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේදී සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි පහකට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබමින් සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ

සතොස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමැති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන දෙදෙනා එම චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් තීරණය කරන ලදී.
මහාධිකරණය විසින් පසුගිය මස 29 වැනිදා ප්‍රකාශයට පත් කළ තීන්දුවට අනුව, හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් ද, හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවමක් ද නියම කෙරිණි.

මේ අතර, එම මන්ත්‍රී කණ්ඩායම රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද පසුගියදා හමුවී ඔහුගේ සුව දුක් විමසා ඇතැයි වාර්තා වේ. දුමින්ද දිසානායක මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින්නේ රත් ආලේපිත තැනූ ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවකටය.
මෙම සිරගත හිටපු අමාත්‍යවරුන්ගේ තත්ත්වය පිළිබඳව රටේ දේශපාලන වශයෙන් විවිධ මත පළවෙමින් පවතින අතර, ඔවුන්ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරි කාලයේ දී සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.