ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටුවීම සදහා ජාතික ජනබලවේගය පක්ෂයට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දීමට එම පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රකාශකයෙක් පැවැසීය.දෙපාර්ශවය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැති
බවත්, එම සාකච්ඡාව අනුව නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොළ ප්‍රාදේශීය සභාව සදහා බලය පිහිටුවීමට තම පක්ෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා තේරි පත්වූ සභිකයන්ගේ සහයෝගය සමගි ජන බලවේගයට ලබාදෙන බව ඔහු කියා සිටියේය.මේ අතර ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් කිරීමට පියවර නොගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක සභාපතිධුරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත් උප සභාපති ධුරය ජාතික ජන බලවේගයට ලබා දීමට එකගතාව පළ කර ඇති බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභා 04කට පත් කරන ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගෙන් නවකයන් පත් කිරීම කෙරෙහි තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බව ද පක්ෂ ප්‍රකාශකයා වැඩි ද දුරටත් පැවැසීය.
මේ අතර ඊයේ (16) පස්වරුවේ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී එම පක්ෂයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතනවලට තේරි පත් වූ සභිකයන් සදහා විශේෂ රැස්වීමක් පවත්වා ඇත. එම රැස්වීමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සභිකයන් හමුවේ කියා ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා ලකුණින් පළාත් පාලන ආයතනවලට තරග කර ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇති බවත්, ඒ අනුව පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමග එකක්වීමට තීරණය කළ බවය.
පළාත් පාලන ආයතන 04ක පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයකු පත් කරන බවත්, එහි උප සභාපතිධුරය ජාතික ජන බලවේගයට ලබාදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පිට දිස්ත්‍රික්ක රැසක පළාත් පාලන ආයතන කිහිපයකම සභාපතිධුරය ජාතික ජන බලවේගයටත්, එහි උප සභාපතිධුරය ලංකා කම්කරු කොංග්‍රසයට හිමි වන බවත්, ඒ අනුව පක්ෂ නායකත්වය විසින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසට ජීවන් තොන්ඩමන් මහතා මෙම රැස්වීමේදී අවධාරණය කර ඇත. මෙම රැස්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමන්, භාණ්ඩාගාරික මරද පාණ්ඩි රමේෂ්වරම් සමග ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ රැසක් සහභාගි වූහ.
( රංජිත් රාජපක්ෂ)

