ඉමහත් ආන්දෝලනයක් ඇති කරමින් අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කළ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු යැයි සැකකරන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඊයේ (ජූනි 4) ඉදිරිපත් කළ නමුත් ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් දෙන්නාට ඔහු හඳුනාගන්නට බැරි විය.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු දැඩි ආරක්ෂාවක් මැද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර
එහිදී සැකකරු හඳුනාගැනීම පෙරට්ටුවකට සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබුණි.
සැකකරු තවත් අය සමග පෙරට්ටුවට යොමු කළ අවස්ථාවේ සැකකරුව හඳුනා ගන්නට බැරි බව සාක්ෂිකරුවන් දෙන්නා පවසා ඇත.
සිද්ධිය සිදුවූ මොහොතේ සිට විවිධ ආකාරයෙන් මාධ්‍ය ඔස්සේ සැකකරුගේ රුව ප්‍රචාරය වූ පසුබිමක මෙලෙස ඔහුව හඳුනාගන්නට බැරි යයි සාක්ෂිකරුවන් පැවසීම තරමක සැකකටයුතු දෙයක් හඟවා තිබේ.
කෙහෙල්බද්දර පද්මේ නමැති විදේශගත පාතාල ක්‍රියාකාරිකයෙකුගේ පලිගැනීමේ උවමනාවට ගනේමුල්ල සංජීව ඝාතනය වී තිබුණ බවට මාධ්‍ය වාර්තා පළ විය.මෙම ඝාතනයේ මහමොළකාරිනී ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අල්ලාගන්නට තවම පොලිසිය අසමත්ව ඇති නමුත් සමිඳු දිල්ෂාන් පියුමංග සිද්ධිය වූ දිනයේම පොලිසියට හසු විය. ඔහු මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත කළ බවට පාපොච්චාරණයක්ද කර තිබුණි.
පෙරට්ටුව අසමත්වීමෙන් අනතුරුව මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලීගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබිණි.
එහිදී සැකකරු මේ මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එදිනට නඩුව ස්ට්‍රීමින් වීඩියෝ තාක්ෂණය මාර්ගයෙන් විවෘත අධිකරණයේ කැඳවීමට නියමිත ය.