how-a-police-sergeant-caught-people-stealing-a-phone-in-front-of-the-police-station

මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිට සිදුවූ සිද්ධියකදී තරුණියකගේ වටිනා ජංගම දුරකථනයක් පැහැරගෙන පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් සැරයන්වරියක විසින් ධෛර්යසම්පන්න ලෙස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. 



මහනුවර මූලස්ථාන පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව,

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා පැමිණි තරුණියක් මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදීය. එම අවස්ථාවේදී පුද්ගලයෙකු ඇගේ අතේ තිබූ ජංගම දුරකථනය පැහැරගෙන පලා යාමට උත්සාහ කර ඇත.

මෙම සිද්ධිය දුටු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් නෙරංජලා කුමාරි (2954) මහත්මිය වහාම ක්‍රියාත්මක වී පලා යමින් සිටි සැකකරු පසුපස ලුහුබැඳ ගොස් බලවත් පරිශ්‍රමයකින් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන තරුණිය ඇගේ මිතුරියක් සමඟ දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා පෙරේදා (5) මහනුවර පැමිණ ඇත. ඔවුන් මහනුවර මූලස්ථාන පොලිසිය ඉදිරිපිටින් වැටී ඇති මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇත. මහනුවර මූලස්ථාන පොලිසියේ පිවිසුම් දොරටුව ආසන්නයේදී අදාළ පුද්ගලයා තරුණිය සතුව තිබූ නවීන වර්ගයේ ජංගම දුරකථනය පැහැරගෙන පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.



පොලිස් සැරයන් කුමාරි මහත්මිය ධෛර්යසම්පන්න ලෙස ක්‍රියා කරමින් සැකකරු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, පැහැර ගත් ජංගම දුරකථනය ද සැකකරු සන්තකයෙන් සොයා ගැනීමට හැකි වී තිබේ. එම දුරකථනය රුපියල් තුන්ලක්ෂ අනූ දහසක් පමණ වටිනා බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව, වැලිකන්ද, තාවල්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක් වන හෝටල් සේවකයෙකු බව හඳුනාගෙන ඇත.