gota-and-bhathiya-santhush-are-suspects-in-wasting-rs-276-lakh-on-music-at-the-opening-of-the-veras-ganga

වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව අත්තනෝමතිකව රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කරමින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා ලැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ ඊයේ (05) ප්‍රකාශ කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිලාභ ලබා ගත් භාතිය-සන්තුෂ් නමැත්තන්ද සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කළ යුතු බව සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දුන් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනී ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය, සිද්ධිය සම්බන්ධයෙන් සියලු කරුණු අනාවරණය කරමින් රහස් ප්‍රකාශයක් දීමට වුවත් සූදානම් බව වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා නුගේගොඩ, රත්තනපිටියේ බෙල්ලන්විල දක්වා 'වේරැස් ගඟ ව්‍යාපෘතියේ' පළමු අදියර විවෘත කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව සංවිධාන කටයුතු සමාගමකට බාරදී රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් සිදු කර ඇතැයි කියමින් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු සාමාන්‍යාධිකාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් බාරයේ සිටි ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනී ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය.



අල්ලස් කොමිසමේ පැමිණිල්ල

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කරුණු දක්වමින් පැමිණිල්ලට පාදක වූ 'වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සඳහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 276ක් වෙන්කර ඇති බව දැනුම් දුන්නාය.

"'වේරැස් ගඟ' ව්‍යාපෘතියේ පළමු අදියර කියන්නේ කිලෝමීටර් තුනක මංතීරුවක් විවෘත කිරීමක් සහ පොඩි කඩවල් හතරක්, පහක් විවෘත කරන පැය දෙකක පමණ කාලයක උත්සවයක්. මේ සඳහා තමයි මෙලෙස රුපියල් ලක්ෂ 276ක් යොදවා තිබෙන්නේ," යැයි නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට පැවසුවාය.

නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසූ ආකාරයට, "සැකකාරිය මේ ආයතනයේ සාමාන්‍යාධිකාරිනිය වගේම, ප්‍රසම්පාදන කමිටු සාමාජිකාවක්. 2015 ඔක්තෝබර් 14 වැනිදා අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළා. 'වේරැස් ගඟ' පළමු අදියර අවසන් කිරීමෙන් පසුව එය විවෘත කිරීමේ උත්සව කටයුතු 2014 සැප්තැම්බර් 09 වැනිදා සිදුකර තිබෙනවා. උත්සවය සඳහා රජයෙන් මුදල් වෙන්කර තිබී නැහැ. එහෙත් ව්‍යාපෘතියේ සඳහා වෙන්කළ මුදලින් ලක්ෂ 276ක් භාතිය ජයකොඩි යන අයගේ සමාගමට උත්සව සංවිධාන කටයුතු භාර දෙමින් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය කරනවා."

නීතිඥවරිය තවදුරටත් පැවසුවේ අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ කරන මෙම විමර්ශනයේදී සැකකාරිය දැන දැනම මෙම වරද කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්, සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බවත්ය.



සැකකාරියගේ පාර්ශ්වයේ ප්‍රතිචාරය

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා කරුණු දක්වමින් තම සේවාදායිකාවට එරෙහි විමර්ශන අවසන් කර ඇති හෙයින් ඇයට ඇප නියම කරන ලෙස ඉල්ලමින් මෙසේ ප්‍රකාශ කළේය:

"සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය හෙළි කරන්න මගේ සේවාදායිකාව සූදානම්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 යටතේ හෝ අල්ලස් පනත අනුව ප්‍රකාශ දීමට ද ඇය ඉදිරිපත් වෙනවා. සමස්ත සිදුවීම ගැන විස්තර කියන්න ඇය සූදානම්."

"මෙම සංස්ථාවේ සාමාන්‍යාධිකාරි තනතුර කරන්න බෑ කියලා තම සේවාදායිකාවට පෙර හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුම අයින් වුණා. එතරම් පීඩනයක් මෙතැනට එල්ල වෙලා තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිව සිටි කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි ආරක්ෂක ලේකම් වෙලා හිටියේ."

සේනාධීර මහත්මියගේ නීතිඥවරයා ඇයගේ මතය උපුටා දක්වමින් මෙසේ ද පැවසීය: "ස්වාමීනි, මම මගේ රස්සාව බේරගන්නත් ඕනේ. ජීවිතය බේර ගන්නත් ඕනෑ. නීති රීතිය අනුව වැඩ කරන්නත් ඕනෑ. එතරම් පීඩනයක් රාජ්‍ය නිලධාරීන්ට ඒ කාලේ එල්ල වෙලා තිබුණා. මෙම උත්සවයේ රියල්සල් එක බැලුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ආරක්ෂක ලේකම්ට ඉහළින් මට යන්න බෑ ස්වාමීනී. මං මොනවද එතැනදී කරන්නේ? මම ඒ වෙලාවේ මට හැකි අයුරින් නීතියත්, රාජකාරියත් හරිහැටි කරන්න උත්සාහ දැරුවා. උත්සවය කරන්න මට දුන්නේ දවස් පහයි. සල්ලි වෙන් කරන්නත් ඕනෑ. උත්සවය කරන්නත් ඕන."

"සිද්ධියේ සැකකාරයා වෙන්න ඕනෑ මම නෙවෙයි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒ වගේම භාතිය-සන්තුස් නමැත්තන්ද සිද්ධියේ සැකකාරයන් ලෙස නම් කළ යුතුයි. මොකද ඒ අයනේ ප්‍රතිලාභ ලබා ගත්තේ," යැයි ද නීතිඥවරයා වැඩිදුරටත් දැක්වීය.



අධිකරණ නියෝගය

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රුපියල් මිලියන 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකාරිය මුදා හැරීමට නියෝග කළාය.

මෙම නඩුව අදාළ වන්නේ 2014 වසරේ සිදු කළ වේරැස් ගඟ ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උත්සවයට අදාළව ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදු කළ බවට චෝදනා ලැබූ මුදල් වැය කිරීම සම්බන්ධයෙනි. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනී මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය සැකකාරිය ලෙස නම් කර ඇති අතර, ඇය පවසන්නේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවා විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි. තවද, ප්‍රතිලාභ ලබා ගත් සංගීත ප්‍රසංගය පැවැත්වූ භාතිය සහ සන්තුෂ් ද සැකකරුවන් විය යුතු බවත් ඇය තම නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා ඇත.

මෙම නඩුව තවදුරටත් විභාග කිරීමට නියමිතය.