former-mayors-son-arrested-with-a-fake-passport

 කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස  අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. එම සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ගුවන් ගමන් බල පත්‍රය හා ව්‍යාජ හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත. 






ව්‍යාපාරිකයකු වන එම පුද්ගලයා සතුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් තිබෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලද රහසිගත තොරතුරකට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමේ දී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදාගෙන 2014 වසරේ සිට 2019 වසර දක්වා කොරියා රටට පිටත්ව ගිය බවට අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම දිනවල විදේශගතවීම සඳහා වයස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැස්බෑව ප්‍රදේශයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු තම සහෝදරියගේ උපන් වර්ෂය යොදා ජාතික හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස සකසා එකී උපන්දිනයට ගුවන් ගමන් බලපත්‍රයක් සාදා තමන් වෙත ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි. 


සැකකරු පැවසූ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහු මේ වන විට මෙවැනි වංචා සහගත ක්‍රියාවන් රැසකට සම්බන්ධව බන්ධනාගාරගතව සිටින බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.