අඩි 60 ක් උසැති බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීමට යැයි පවසමින් රුපියල් කෝටි ගණනක අයථා වත්කම් රැස් කරන ලදැයි චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන මස 08 දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (26 වැනිදා) පස්වරුවේ නියෝග කළේය.
අයුතු වත්කම් රැස් කිරීමේ චෝදනාව මත කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් ඊයේ පස්වරු 1.17 ට පමණ සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සමයේදී, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පානදුර, නල්ලුරුව, ජයන්ති මාවත, අංක 19/1 දරන ලිපිනයේ පදිංචි සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත නමැති සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග විසින් රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.
2023 දෙසැම්බර් 12 වැනිදා අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිල්ලකට අනුව අල්ලස් පනතේ 23 (අ) වගන්තිය සහ දූෂණ විරෝධී පනතේ 109 වැනි වගන්තිය යටතේ මෙම සැකකරු වරදක් කර ඇති බවට විමර්ශනයේදී අනාවරණ වූ කරුණු මත ඔහු එලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට දැන්වූවාය.
විමර්ශන වාර්තාව
මෙම නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී ඊයේ පස්වරුවේ කැඳවූ අවස්ථාවේදී විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවේ, 2019 ජනවාරි 01 වැනිදා සිට 2023 දෙසැම්බර් 22 දක්වා අතර කාලය තුළ දී උපයාගත හැකි ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ දේපොළක් රැස් කිරීමේ සැකය මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් තවදුරටත් පැවසුවේ, "මෙම සැකකරුගෙන් අදාළ මුදල් හා දේපොළ උපයාගත් ආකාරය ගැන විමසීමේදී බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීම සඳහා එලෙස මුදල් රැස් කරන බව කිව්වා. එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ මේ වන විට රෝගාතුරවයි සිටින්නේ. එම ස්වාමීන් වහන්සේ වෙත මෙම සැකකරු දිවුරුම් ප්‍රකාශයක් සකස් කර ඉදිරිපත් කර අත්සනක් ලබාගෙන තිබෙනවා. එම බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමට අදාළ සමරු ඵලකයේ සඳහන්ව තිබූ මුදල් ප්‍රමාණයක්ද වෙනස් කර තිබෙනවා."
"මෙම සැකකරු විසින් රුපියල් ලක්ෂ 92 ක් පමණ වන දේපොළක් විකුණා, එය රුපියල් ලක්ෂ 40 ක් බව පෙන්වා තිබෙනවා. මෙම පිළිම වහන්සේ ඉදිකිරීමට සැකකරුට මුදල් දුන්නා කියන පුද්ගලයන් ගැන තොරතුරු දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම සැකකරුගේ ක්‍රියා කලාපය සාක්ෂිකරුවන්ට බලපෑමක් වී තිබෙනවා. එම නිසා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා," යනුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
සැකකරුගේ නීතිඥයාගේ තර්ක
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා කරුණු දක්වමින් පැවසුවේ, "මාගේ සේවාදායකයා වසර 35 ක් රාජ්‍ය සේවයේ සිටි කීර්තිමත් නිලධාරියෙකි. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවට හැර මොහුට වෙනත් කිසිදු චෝදනාවක් මෙතෙක් එල්ල වී නැහැ. එම නඩුවේත් මොහු ප්‍රධාන සාක්ෂිකරුවකු බවට පත් වී තිබෙනවා."
ජයවර්ධන මහතා තවදුරටත් පැවසුවේ, "සැකකරු අයථා ලෙස මුදල් උපයා ගත්තා නම් එම මුදල් ඔහුගේ ගිණුමට දමා ගන්නේ නැහැ. මොහුට රජයේ වාහන බලපත්‍ර 04 ක් නිකුත් වී තිබෙනවා. පානදුර පිංවත්ත රජමහා විහාරයට විශාල මුදලක් ආයෝජනය කර තිබෙනවා. මොහුට දරුවන් නැහැ. සියලු දේවල් වියදම් කරන්නේ දානමානවලට සහ විහාරස්ථානවලටයි."
"සැකකරු බුදු පිළිමයක් හදන එක බොරුවක් නම් ඒ පිළිබඳ මෙතෙක් පොලිසියකට හෝ පැමිණිල්ලක් තිබිය යුතුයි. එම පිළිමය ඉදිකිරීමේ ගිණුම තිබෙන්නේ සැකකරුගේ බිරිඳගේ නමටයි. අල්ලස් කොමිසම කියන දේ හරි නම් පළමුව අත්අඩංගුවට ගත යුත්තේ සැකකරුගේ බිරිඳයි. තමන්ගේ සහ තම හිතවතුන්ගේ මුදලින් පිළිමයක් හදන්න යන විට සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිසා ඔහු ඕනෑම කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා," යනුවෙන් ජයවර්ධන මහතා අවසානයේදී පැවසීය.
අල්ලස් කොමිසමේ ප්‍රතිචාරය
අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, "පිළිමයක් හදනවා කියලා මුදල් රැස් කරලා, ඒක සැකකරුගේ පුද්ගලික වාසියට යොදවාගෙන තිබෙනවා. එම නිසා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා," යනුවෙනි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරු ජූලි 8 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval