first-successful-ivf-in-the-public-sector-at-ragama-medical-faculty

කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අංශය මඟින් නළදරු තාක්ෂණය භාවිත කරමින් සිදු කරන ලද පළමු ගැබ් ගැන්වීම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සම්බන්ධයෙන් පසුගියදා (02) උදෑසන සනාතන සභා රැස්වීම් ශාලාවේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ පර්යේෂණය සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම මෙන්ම මෙම සුවිශේෂී අවස්ථාව හිමි කර ගත් මවුපිය යුවළ ද සහභාගී වීම විශේෂත්වයක් විය.

රාජ්‍ය අංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් පළමු සාර්ථක IVF ප්‍රතිකර්මය

කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් (IVF මධ්‍යස්ථානය) නළදරු තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ගැබ් ගැන්වීමක් සිදු කළ බව කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිය සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද සහ මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. මෙය රාජ්‍ය අංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් (IVF Centre) සිදුකළ පළමු සාර්ථක ගැබ්ගැන්වීම බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ මහාචාර්ය ඒකකය විසින් ඉකුත් 2021 වසරේදී මෙම ප්‍රජනන සෞඛ්‍ය ඒකකය පිහිටුවා ඇති අතර, පසුගිය 2024 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලය මේ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබිණි. රාගම වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම එක්ව අයි වී එෆ් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ප්‍රථම වරට සිදු කළ මෙම ගැබ් ගැන්වීම සාර්ථක වූ බව මෙම මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනේදී වෛද්‍යවරුන් විසින් අනාවරණය කරන ලදී.



දැරිය හැකි මිලකට ඉහළ තත්ත්වයේ සාඵල්‍යතා ප්‍රතිකාර

දරු සුරතල් බැලීමේ නොතිත් ආශාවෙන් පසු වුවද ඒ සඳහා පෞද්ගලික අංශයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට තරම් මූල්‍යමය අතින් පොහොසත් නොවන අඹුසැමියන් අපේ රටේ බොහෝ ප්‍රදේශවල සිටින බැවින් ආර්ථික පසුබිම නොසලකා සියලුම ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ සාඵල්‍යතා ප්‍රතිකාර දැරිය හැකි මිලකට ලබා දීමට මේ තුළින් පසුබිම සකස් වන බව මෙහිදී අනාවරණය කෙරිණි. රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවාවකින් මෙවැනි වටිනා අවස්ථාවක් දරුවකු පිළිබඳව සිහින මවන ඕනෑම යුවළකට දැරිය හැකි සහනදායී මිලකට ලබා දීම මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ මූලික අරමුණ වී තිබේ.

විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ මහතා සඳහන් කළේ මෙරට 2002 වසරේ සිට අද වනතුරු IVF ප්‍රතිකර්මය සිදු කරන පෞද්ගලික අංශයේ රෝහල් 10ක් 12ක් පමණ තිබෙන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 10කට 12 කට අධික වියදමක් දැරිමට සිදුවන බවයි. මේ සඳහා අවශ්‍ය වන ඖෂධ රජයෙන් ලබා ගැනීමට හැකියාවක් තිබේ නම් මේ ප්‍රතිකර්මය සම්පූර්ණයෙන් නොමිලේ දීමේ හැකියාවක් තිබෙන බවද වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ මහතා පැවසීය. එසේ නොමැතිනම් වැයවන මුදලින් සියයට 50 කට වඩා අඩු මුදලකට පෞද්ගලික අංශයෙන් මේ සේවාව ඉදිරියේ දී ලබාදීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.



දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක්

කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගැබ් ගැන්වීමේ කටයුත්ත සිදු කරන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ තමන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් බවද හෙට්ටිපතිරණ මහතා සඳහන් කළේය. මෙම සාර්ථක ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී හා ඓතිහාසික සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව මාධ්‍ය හමුවේදී පැවසිණි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මාධව චන්ද්‍රතිලක, එම වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයන අංශයේ අංශාධිපති විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසන්ත ද සිල්වා, එම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සුරංග හෙට්ටිපතිරණ, විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස්, කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ සහ සන්නිවේදන අංශයේ විද්‍යාර්ථීන් පිරිසක් ද එක්ව සිටියහ.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රාගම වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මාධව චන්ද්‍රතිලක, ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ ප්‍රධානී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසන්ත ද සිල්වා, ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ මහාචාර්ය සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් යන මහත්වරු සහ මෙම IVF මධ්‍යස්ථානය හරහා නළදරු තාක්ෂණයෙන් සාර්ථක ගැබ්ගැන්වීමට සම්බන්ධ වූ අඹු සැමි යුවළ ද අදහස් දැක්වූහ.

වැදගත්කම සහ අනාගත සැලසුම්

ශ්‍රී ලංකාවේ මදසරුභාව ගැටලුවලින් පෙළෙන දම්පතීන්ට සහනදායී මිලකට මෙම තාක්ෂණය ලබාදීමේ වැදගත්කම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. මෙම පර්යේෂණයේ සාර්ථකත්වයත් සමඟ අනාගතයේදී තවත් එවැනි දම්පතීන්ට සේවය සැපයීමට හැකිවනු ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අපේක්ෂා කරයි.

මෙම සාර්ථක නළදරු තාක්ෂණ ගැබ් ගැන්වීම ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාවේ ඉදිරි පියවරක් ලෙස සැලකෙන අතර, මෙයින් දරු උපතක් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනාට නව බලාපොරොත්තුවක් ලබාදී තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ මෙම සාර්ථක ව්‍යාපෘතිය රාජ්‍ය අංශයේ මදසරුභාව ප්‍රතිකාර ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහසයි.



gossiplanka image 2