
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහතික කර ඇත. ඊයේ (ජූනි 18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්ධන හිඟයක් පිළිබඳව පාරිභෝගිකයන් අතර ඇති වී තිබෙන බිය අනවශ්‍ය බවත්, ඉන්ධන තොග රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය.
අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ "රට තුළ මේ වන විට එළැඹෙන අගෝස්තු මාසය වන තෙක් අවශ්‍ය තෙල් තොග පවතින අතර, සැපයුම්කරුවන් මගින් ඇණවුම් කළ ඉන්ධන තොග ලැබෙමින් පවතින" බවයි. ඔහු සඳහන් කළේ දැනට ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති සැපයුම් හරහා ප්‍රසම්පාදන කටයුතු සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්ය.
සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන සැපයීමේ අපහසුතාවක් හෝ අඩාල වීමක් ගැන කිසිදු දැනුම්දීමක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දෙසැම්බර් මාසය දක්වා පිරිපහදුව සඳහා බොර තෙල් ප්‍රමාණවත්ව තිබෙන බවත්, වගකිව යුතු රජයක් ලෙස ඔවුන් පූර්ව සූදානමකින් සිටින බවත්ය. ශ්‍රී ලංකාවට ගෙන එන බොර තෙල් හා පිරිපහදු කරන ලද ඉන්ධන වලින් 95% ක් පමණ ලබා ගන්නේ යුදමය කලාපයෙන් බැහැර සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව වැනි පරිබාහිර කලාපයේ රටවලින් බවද ඔහු පැහැදිලි කළේය.
"ඉන්ධන සම්බන්ධයෙන් සැපයුම්කරුවන් විසින් ඉන්ධන සැපයීමේ බාධාවක් තිබෙන බවට දැනුම් දීමක් කර නැහැ. එම නිසා කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බව ආණ්ඩුවක් හැටියට වගකීමෙන් ප්‍රකාශ කරනවා," යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කිරීමෙන් වැළකී සිටින ලෙසයි.
අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේ ඛනිජ තෙල් සංස්ථාවට අමතරව සයිනොපෙක්, අයි.ඕ.සී. සහ ෂෙල් වැනි සැපයුම්කරුවන් සතුවද අවශ්‍ය ඉන්ධන තොග පවතින බවයි. අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කිරීම කළමනාකරණයේ අවුල් වීමකට හේතු විය හැකි බවත්,
අනවශ්‍ය ලෙස බුලි හා බැරල්වලට ඉන්ධන ලබාදීම තහනම් කර ඇති බවත්, එයට පටහැනිව කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉන්ධන සැපයුම් තත්ත්වය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳව මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා විස්තර කළ අතර, ජනතාවගෙන් ඉල්ලා සිටියේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත්, නොසන්සුන්තාවයකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියා කරන ලෙසත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval