eight-school-students-stranded-in-the-hanthana-mountains-rescued

 හන්තාන කඳුකරයේ අතරමංව සිටි පාසල් සිසුන් අටදෙනෙකු මුදාගැනීමට ආරක්ෂක අංශ අද (29) අලුයම සමත් විය. අතරමංව සිටි මෙම සිසුන් සොයා යුද හමුදාව සහ පොලීසිය එක්ව පුළුල් මෙහෙයුමක් දියත් කර තිබිණි. 



මහනුවර, තලාතුඔය, රටේමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සිසුන් කණ්ඩායම ඊයේ (28) දිනයේ හන්තාන තරණය කරමින් සිටියදී අයහපත් කාලගුණයට මුහුණ දී තිබේ. කන්දෙන් යළි බැසීමේදී ඇතිවූ අධික වර්ෂාවත් සමග සිසුන් අටදෙනෙකුට මෙලෙස මාර්ගය වැරදී ගොස් ඇතැයි වාර්තා වේ.



සිසුන් අතරමංවී ඇති බව ඔවුන් සමග ගිය සෙසු සිසුන් විසින් දෙමව්පියන් වෙත දැනුම් දී ඇති අතර, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා හරහා ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.

ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ තලාතුඔය පොලීසිය සහ යුද හමුදාව එක්ව ඊයේ (28) රාත්‍රියේ සිටම සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අද (29) අලුයම 2.00ට පමණ සිසුන් සිටි ස්ථානය හඳුනාගත් අතර, අලුයම 4.00 වන විට ඔවුන්ව නිරුපද්‍රිතව කන්දෙන් පහළට රැගෙන ඒමට හැකිවූ බව සඳහන්ය.

මෙලෙස මුදාගනු ලැබූ සිසුන් අටදෙනා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

gossiplanka image 2


gossiplanka image 3


gossiplanka image 4