drunk-driver-kills-two-sisters-at-pedestrian-crossing

හොරණ-කොළඹ මාර්ගයේ ගෝනපොල ප්‍රදේශයේදී පදික මාරුව මතින් ගමන් කරමින් සිටි සහෝදරියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මෝටර් රථයක ගැටී සහෝදරියන් දෙදෙනා මරණයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරු ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. 



ජූනි 15 වනදා රාත්‍රී 9.25 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ බණ්ඩාරගම, වීදියගොඩ, හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක වූ සුරංගිකා දමයන්ති (45) සහ ඇයගේ සොහොයුරිය වූ බේරුවල, මග්ගොන, මාගල්කන්ද, අලුත්හේන පදිංචිව සිටි තිදරු මවක් වූ ශිරෝමි මාලා ප්‍රනාන්දු (50) යන අයයි. මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ අවුරුදු 11 සහ 17 වයසේ පසුවන දැරියන් දෙදෙනා රෝහල්ගත කර ඇති බව මොරගහහේන පොලීසිය වාර්තා කරයි.


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට, මියගිය කාන්තාවන් දෙදෙනාගේ ඥාති සහෝදරියක හදිසියේ මියගොස් තිබූ අතර, එම අවමඟුල් නිවසට සහභාගී වීම සඳහා ඔවුන් හොරණ ගෝනපොල කෝරළඉම ප්‍රදේශයේ නිවසට පැමිණ සිට ඇත. අනතුර සිදුවූ අවස්ථාවේදී මියගිය දෙදෙනා සහ තුවාල ලද දැරියන් දෙදෙනා ඒ ආසන්නයේ පිහිටි තවත් ඥාති නිවසකට යාම සඳහා කෝරළඉම හොරණ-කොළඹ මාර්ගයේ පිහිටි අවමඟුල් නිවසේ සිට පාගමනින් ගෝනපොල දෙසට පැමිණ පදික මාරුව හරහා මාර්ගය හරහා යාමේදී,

ගෝනපොල දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී අනතුර සිදුවී ඇත.



අත්අඩංගුවට ගත් සැකකරු කහතුඩුව, මහේෂ් උයන, අටවන පටුමඟ පදිංචි චමෝද් මාධව හේෂාන් (28) නම් වන අතර, ඔහු මෑතකදී විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි. ඔහු සිය තුන් හැවිරිදි දියණියට ගෝනපොල හන්දියේ ආපනශාලාවකින් කොත්තුවක් මිලදී ගෙන යළි කහතුඩුව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුකර ඇත.

සැකකරුගේ මෝටර් රථය පදික මාරුවේ ගමන්ගත් සිව්දෙනාට ගැටීමෙන් අනතුරුව, ඔහුට මෝටර් රථය නවතා ගැනීමට හැකිවී ඇත්තේ මීටර් 11.7 ක් තවදුරටත් ඉදිරියට ගමන් කිරීමෙන් පසුව බව පොලීසිය කියයි. අනතුරෙන් පසු සැකකරු තම කුඩා දරුවා අසල නිවසක රඳවා පලා ගොස් සැඟව සිට, පොලීසිය පැමිණීමෙන් අනතුරුව භාරවී ඇත.


සැකකරු පැදවූ මෝටර් රථයේ ගැටීමෙන් පදික මාරුවේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනා ඇතුළු දැරියන් දෙදෙනා පදික මාරුවේ සිට මීටර් 16 සිට මීටර් 30.8ක් දක්වා දුරක් ඈතට තැන තැන විසි වී ගොස් තිබූ බවත්, 11 හැවිරිදි දැරිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට විසි වී තිබූ බවත් පොලීසිය සඳහන් කරයි. සිද්ධියෙන් පසු වහාම ඔවුන් වෑතර රෝහලට ගෙන ගොස් ඇති අතර, එහිදී එක් කාන්තාවක් මියගොස් ඇත. පසුව බරපතළ තුවාල ලැබූ අනෙක් තිදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවූ අනෙක් කාන්තාවද රාත්‍රියේදීම මිය ගොස් ඇත.





සැකකරු පොලීසියට රැගෙන යාමෙන් අනතුරුව ශ්වසන පරීක්ෂණ නළ මඟින් සිදු කළ පරීක්ෂාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ විට, එය වඩාත් තහවුරු වූ බව පොලිස් නිලධාරියෙක් පවසා ඇත. තවද, සැකකරු අනතුර සිදුකළ අවස්ථාවේදී අයිස්, ගංජා සහ මත්පැන් පානය කර ඇති බවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාවරණය වී ඇති බවද පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත.



අනතුරෙන් පසු, සැකකරු සැඟවී සිටින බව නොදත් ප්‍රකෝප වූ අවමඟුල් නිවසේ සිටි පිරිස, ඔහු ඒ අසල නිවසක සැඟවී ඇතැයි සැක කර එම නිවසේ වහලයට සහ දොරට ගල්මුල්වලින් පහර දී සැකකරු ඉල්ලා ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇත.



සැකකරු ජූනි 16 වැනිදා හොරණ මහේස්ත්‍රාත් චන්දන කංලසූරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් වී ඇත. සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥවරිය සඳහන් කර සිටියේ මරණ පාර්ශ්වයට ආදාහන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ලබා දෙන බවයි.


මොරගහහේන පොලීසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් ඉන්දික මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර, පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.එම්. විජයරත්න, පොලිස් සැරයන් කුලතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන ජයසේකර, ලක්මාල්, ඉදිරිසිංහ, හර්ෂ, දිනේෂ් යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මෙම අවාසනාවන්ත සිද්ධිය පදික මාරුවේදී රියදුරන් විසින් දක්වන අවධානය සහ මාර්ග සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්න නැවත මතුකර ඇති අතර, විශේෂයෙන් මත්පැන් පානය කර වාහන පැදවීමේ අවදානම මෙම සිද්ධිය මගින් නැවතත් පෙන්නුම් කරයි.

gossiplanka image 2


gossiplanka image 3