director-of-illegal-pyramid-scheme-fugo-olin-remanded-in-custody


ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළ බවට චෝදනා ලැබ ඇති "ෆුගෝ ඔලින්" නමැති නීති විරෝධී පිරමිඩාකාර සමාගමේ මාස පහක් අධ්‍යක්ෂ ධුරය දැරූ මනම්පිටියේ තරුණයෙකු ඊයේ (30) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම තීරණය ලබා දෙන ලද අතර,

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එරන්ද දිල්ෂාන් සමරජීව නමැති සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
රහස් පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරු කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම පිරමිඩාකාර සමාගමේ මාස පහක කාලයක් අධ්‍යක්ෂ ධුරය දරමින් රුපියල් ලක්ෂ 43ක් වැටුප් ලෙස ලබාගෙන ඇති බවයි.
වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කළේ, මෙම කාලය තුළ සැකකරුගේ බැංකු ගිණුම් හරහා ජනතා මුදල් රුපියල් කෝටි 250කට අධික මුදලක් භාරගෙන වංචා කර ඇති බවත්, ඔහු සමඟ කටයුතු කළ අනෙකුත් අධ්‍යක්ෂවරුන් හා ආයතන හිමිකරුවන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් පවතින බවත්ය.
පොලිස් නිලධාරීන් තවදුරටත් අධිකරණයට පැවසුවේ, මේ වන තෙක් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව සැකකාර අධ්‍යක්ෂවරයා හෝ මෙම සමාගමේ අයිතිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නොවන බවත්, ඔවුන් ශ්‍රී ලාංකිකයන්ද නැතහොත්

විදේශිකයන්ද යන්න පිළිබඳවද විමර්ශන කරමින් සිටින බවත්ය. නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ, සැකකාර අධ්‍යක්ෂවරයා අන්තර්ජාලය ඔස්සේ ලැබුණු උපදෙස් අනුව මෙම පිරමිඩාකාර සමාගම පවත්වාගෙන ගොස් ඇති බවද සැක කෙරෙන බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු හා රක්ෂණ නිරාවරණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව, රහස් පොලිසිය 2024 මාර්තු මාසයේදී මෙම විමර්ශනය ආරම්භ කර ඇත. විමර්ශකයින් සඳහන් කළේ, සමාගමේ මුදල් ආයෝජනය කළ ශ්‍රී ලාංකිකයන්ගේ ගිණුම් 50කට වඩා වැඩි ප්‍රමාණයක් දැනට අනාවරණය කරගෙන ඇති බවත්, එම ගිණුම් මගින් රුපියල් කෝටි 250ක පමණ මුදලක් වංචා කර ඇති බවට සාක්ෂි මතුවන බවත්ය.
පොලිසිය අධිකරණයට තවදුරටත් දන්වා සිටියේ, මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන කරමින් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි. සැකකාර සමාගම රුපියල් 9,000 සිට රුපියල් 2,50,000 දක්වා පරාසයක ජනතා ආයෝජන භාරගෙන ඇති බවද පොලිසිය පෙන්වා දුන්නේය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය,

සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් වැඩිදුර විමර්ශන ප්‍රගතිය ලබන 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
මෙම නීති විරෝධී පිරමිඩාකාර ක්‍රමය තුළින් රටේ බොහෝ පුරවැසියන් මුදල් අහිමිවීමේ අවදානමට ලක්ව ඇති අතර, මහජනතාව මෙවැනි සැකසහිත ආයෝජන ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් අවධාරණය කරයි.