මහනුවර නගරයේ ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එම ප්‍රදේශය සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමේ අරමුණින් බව වාර්තා වේ.
නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති මෙම ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාලපරිච්ඡේදය ආවරණය වන සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා ඇත. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ
බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ එහි ගොඩනැගිලි ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ හඳුනාගෙන තිබීමයි.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව, මෙම ඉඩම මූල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් මහනුවර නගරයේ සංස්කෘතික හා සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන අතර,
ඓතිහාසික වටිනාකමින් යුත් මෙම ස්ථානය නගරයේ වැදගත් සංචාරක ආකර්ෂණයක් බවට පත් කිරීමේ අරමුණ ඇත. ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ පවතින මෙම ස්ථානය සුදුසු ලෙස සංවර්ධනය කිරීම තුළින් ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරමින්ම එහි ප්‍රයෝජනවත් භාවිතය සහතික කිරීමට බලාපොරොත්තු වේ.
අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින්ගේ අභිලාෂ කැඳවීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත අතර, වසර 50ක බදු පදනම මත මෙම ඉඩම බැහැර කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval