
අයගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනෙකු නාරාහේන්පිට ප්රදේශයේ සිදු කළ දේපොළ සොරකම් සම්බන්ධයෙන් 21 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
නාරාහේන්පිට පොලීසිය සිදු කළ විමර්ශනවලට අනුව, අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා කලින් නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කර ඇති අතර, පසුව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙසද සේවය කර ඇත.
පොලිසියේ වාර්තා අනුව, මෙම නිලධාරියා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙකු බව අනාවරණය වී තිබේ.
ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාද මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් බව නාරාහේන්පිට පොලීසිය සඳහන් කරයි.
සැකකාර පොලිස් නිලධාරියා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් යොදවා සොරකම්වල නිරතව සිටින බව බුද්ධි අංශ මඟින් කලක සිට බලධාරීන්ට වාර්තා කර තිබී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කල්ලිය නාරාහේන්පිට උද්‍යාන පාරේ පිහිටි ප්‍රංශ පාසලට ඇතුළු වී රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණක සහ වෙනත් දේපොළ සොරකම් කර ඇත. ඊට අමතරව, එම ප්‍රදේශයේම නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ එකහමාරක පමණ වටිනා දේපොළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධතාවය අනාවරණය වී ඇත.
වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු අයගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටියදීය. නාරාහේන්පිට නිවෙසකින් සොරාගත් සියලු දේපොළ සහ ප්‍රංශ පාසලෙන් සොරාගත් භාණ්ඩ අතරින් එක් ලැප්ටොප් පරිගණකයක් වේරගොඩැල්ල,
සේද මාවතේ පිහිටි නිවසකින් සොයාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිස් වාර්තා අනුව, මෙම නිලධාරියා නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී නොදන්වා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් සේවය අත්හැර යාමේ නියෝග පවා කලකට පෙර නිකුත් කර තිබී ඇත. පසුව ඔහු නැවත අභියාචනයක් මඟින් පොලිස් සේවයට එක්ව අයගම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිට ඇත.
විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇති පරිදි, සැකකාර පොලිස් නිලධාරියා නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී දැන හඳුනාගත් මත්කුඩු ලෝලීන් දෙදෙනෙකු සමඟ එක්ව මෙම සොරකම් සිදු කර ඇත්තේ ඔහු අයගම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදීය. වයස අවුරුදු 31ක් වන මෙම නිලධාරියා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval