three-elderly-people-are-causing-unnecessary-trouble-in-the-middle-east-al-jazeera-analyst-marwan-bishara

ඉරානය විසින් කටාර් රාජ්‍යය තුළ පිහිටි ඇමරිකානු අල්-උදෙයිඩ් ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයත් සමඟ මැද පෙරදිග කලාපය ව්‍යසනකාරී තත්ත්වයකට ළඟා වී ඇති බවට ඇල්ජසීරා මාධ්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විශ්ලේෂක මර්වාන් බිෂාරා අනතුරු අඟවයි. පැරිසියේ සිට ඇල්ජසීරා නාලිකාවට සම්බන්ධ වූ බිෂාරා මහතා, වර්තමාන ගැටුම් ගැන විශ්ලේෂණය කරමින් කලාපීය ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන සහ ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු පාඩම් ගැන අවධාරණය කළේය.



බිෂාරා මහතාගේ විශ්ලේෂණය ආරම්භ වූයේ මෑතකදී සිදු වූ ඉරාන ප්‍රහාරය පිළිබඳවයි. ඇල්-උදෙයිඩ් ගුවන් හමුදා කඳවුර දෝහා නගරයේ සිට කිලෝමීටර් 50-60ක් පමණ දුරින් පිහිටා ඇතත්, කටාර් වැනි කුඩා රටක් තුළ මෙවැනි ප්‍රහාරයක් රටේ සෑම පුද්ගලයෙකුම දැන ගන්නට ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

"කෙටි පණිවිඩ, වට්ස්ඇප් හා වෙනත් මාධ්‍ය ඔස්සේ මෙය කටාර් වැසියන් අතර පැතිර ගිය ආකාරය පැහැදිලියි. මෙය පුදුමයට කරුණක්. අදාළ ප්‍රදේශය ඇමරිකානු රජයට බදු දී ඇති භූමියක් වුවද, කටාර් රජය මෙය තම ස්වෛරීත්වයට එරෙහි උල්ලංඝනයක් ලෙස සැලකීම වැදගත්," යැයි බිෂාරා පැවසීය.

කෙසේ වෙතත්, ඔහු සඳහන් කළේ ඉරානය විසින් කටාර් රජයට කලින් දැනුම් දීමක් කර ඇති බවත්, ප්‍රහාරය හමුදා කඳවුර ආසන්නයෙන් ඔබ්බට ගොස් නොමැති බවත්ය. "කටාර් රටට එය වැදගත් වුවද, යුද්ධයේ සමස්ත සන්දර්භය තුළ එය තරමක් විස්තරයක් පමණක් වනු ඇති. ඉරානයන් නැවත නැවතත් සමාව ඉල්ලා සිටින්නේ මෙය කටාර් රටට එරෙහිව සිදුකළ දෙයක් නොවන බවයි," යැයි ඔහු පැහැදිලි කළේය.

ගල්ෆ් රටවල් තමන්ගේ ස්ථාවරත්වය ගැන ආඩම්බර වන අතර, මෙම ප්‍රහාරය එම ස්ථාවරත්වයට දැඩි සෙලවීමක් ලබා දී ඇති බව බිෂාරා විශ්ලේෂණය කළේය.

"මෙහි මූලික බිය වන්නේ ප්‍රතිචාරයට එරෙහි ප්‍රතිචාරය ගැනයි. 2024 අප්‍රේල් මාසයේ සිට දැනටමත් ප්‍රතිචාර හුවමාරු වී තිබෙනවා. මෙය දැන් වේගවත් වී පළිගැනීම් හා ප්‍රති පළිගැනීම් දක්වා දිග හැරිය හැකියි," යැයි ඔහු අනතුරු ඇඟවීය.

වත්මන් තත්ත්වය පිළිබඳව ධවල මන්දිරය තුළ සාකච්ඡා කෙරෙමින් තිබෙන බවත්, එය වඩාත් රටවල් ගණනාවක් අරගලයට ඇද දැමීමට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

බිෂාරාගේ ප්‍රබල විශ්ලේෂණය වූයේ පසුගිය වසර විස්ස තුළ මැද පෙරදිග සිදු වූ මැදිහත්වීම් වල ප්‍රතිඵල ගැනයි. "අපි මෙවැනි චිත්‍රපටයක් කලින් දැක තිබෙනවා. ඉරාකය, ලිබියාව, සිරියාව, යේමනය යන රටවල් හතර ගැන බලන්න. අපි කතා කරන්නේ ලක්ෂ ගණනක මරණ ගැන නොවෙයි, මිලියන ගණනක හානි ගැනයි," යැයි ඔහු අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ රෙජිම වෙනස් කිරීමේ උත්සාහයන් අසාර්ථක රාජ්‍යයන් හා සිවිල් යුද්ධ කරා ගෙන ගිය බවයි. "ඉරාකයෙන් හා සිරියාවෙන් ISIS ඇති වනු ඇතැයි කවුද කලින් පුරෝකථනය කළේ? කවුද ඉරාකයේ සම්ප්‍රදායික යුද්ධයක් ඇති වනු ඇතැයි කිව්වේ? සමහරුන් එය කළා. අපි 2002 හා 2003 දී නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මෙය ගැන අනතුරු ඇඟවුවා," යැයි ඔහු සඳහන් කළේය.

බිෂා ඇමරිකානු නායකත්වය ගැන දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය. "ඇමරිකානු ප්‍රභූන් හා පිළිගත් ආයතන ඉතාම මහන්තත්ත හා ඉතිහාසය නොතකන ආකාරයෙන් හැසිරෙනවා. ඔවුන් ඉතිහාසයේ පාඩම්වලින් ඉගෙන ගන්නේ නැති බව පෙනෙනවා."

ඔහු විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සඳහන් කරමින්,

"මම පුද්ගලිකව සැක කරනවා ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතිහාසය කියවනවාද කියලා. මම දැඩි ලෙස සැක කරනවා ඔහු ඉතිහාසය පිළිබඳ කිසිදු පොතක් කියවා නැති බවට" යැයි පැවසීය.

එසේම, නෙතනියාහු ඉතිහාසය බොහෝ කියවන බව පැවසූ ඔහු, "නමුත් එයින් අදහස් නොවන්නේ ඔහු නිවැරදි පාඩම් උකහා ගන්නා බවයි," යැයි ද සඳහන් කළේය.

බිෂාරා මහතා අවධාරණය කළේ මෙවැනි ගැටුම්වල ඇත්තේ ක්ෂණික ජයග්‍රහණ මිස සැබෑ විජයග්‍රහණ නොවන බවයි. "මෙම පාඩම් නැවත නැවතත් අපට ලැබී තිබෙනවා. ප්‍රංශ ජාතිකයන් පරාජයට පත් වුණා, ඇමරිකානුවන් පරාජයට පත් වුණා, බ්‍රිතාන්‍යයන් පරාජයට පත් වුණා, ඉතාලි ජාතිකයන් පරාජයට පත් වුණා, සහ මම සිතන්නේ ඊශ්‍රායලයන් අවසානයේ පරාජයට පත් වනු ඇති බවයි. මෙම යුද්ධවල ජයග්‍රහණ නොමැත, මේවා කවීන්ගේ වචන පමණයි," යැයි ඔහු පැවසීය.


සම්මුඛ සාකච්ඡාව අවසානයේ දී බිෂාරා මහතාගෙන් අසන ලද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතනියාහු වැනි ප්‍රතික්‍රියාකාරී නායකයන් මෙම ප්‍රහාරය ඉරානයට එරෙහිව පූර්ණ ප්‍රහාරයක් දියත් කිරීමට හරිත එළියක් ලෙස සලකනු ඇත්ද යන්නයි.

"එය සැබෑ හැකියාවක්, විශේෂයෙන් යුද්ධය දැන් උත්සන්න වෙමින් තිබෙන අතර ඉරානයන් ඔවුන් කැපවීමට සූදානම් බව පෙන්වා ඇති විට. ඉරාක-ඉරාන යුද්ධය අවුරුදු 8ක් තිස්සේ සිදු වූ ආකාරය මතක් කරන්න," යැයි ඔහු පැවසීය.

"ඔවුන් කළ හැකි හොඳම දෙය ප්‍රතිචාර නොදැක්වීම හා නිහඬව සිටීමයි, නමුත් එය ඔවුන්ගේ රටාව නොවෙයි. පාලන තන්ත්‍රය ඔවුන්ගේ පදනම ගැන සැලකිලිමත් වෙනවා.

රට තුළ සිදුවන දේ ගැනත් ඔවුන් සැලකිලිමත් වෙනවා. කාලය හා සමඟ අරාජිකත්වය පැතිර යාම වැළැක්වීමට ඔවුන් සියලු දෙනාට පැහැදිලි කරන්නේ පාලන තන්ත්‍රය ස්ථාවරව පවතින බවයි," යැයි ඔහු පැහැදිලි කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අවුරුදු 87ක් වයසැති ඉරාන සුප්‍රීම් නායකයා තමන්ගේ කාලය ගෙවී ගොස් ඇති බව සිතන බවත්, ඉරානයේ බොහෝ කොටස් නටබුන් වුවත් ඔහුට අහිමි කිරීමට බොහෝ දේ නොමැති බවත්ය. "ඔහු ට්‍රම්ප් හෝ නෙතන්යාහු සතුටු කිරීමට පසුබැසීමට සූදානම් නැහැ. පැහැදිලිවම ඉරානයන් දිගුකාලීන සටනකට සූදානම්. පැහැදිලිවම නෙතන්යාහු හා ට්‍රම්ප් වැඩි වැඩියෙන් දැනෙන්නේ ඔවුන් මෙය දිගටම කරගෙන යා යුතු බවයි, නැතහොත් ඔවුන් මෝඩයන් ලෙස ඔවුන්ට පෙනී යනු ඇති,මේ වයසක තුන්දෙනා නිසා මැද පෙරදිග අවුල් ජාලයක් වෙන්නයි යන්නේ" යැයි ඔහු අවධාරණය කළේය.

"රුසියානුවන්, චීනය, මම නොදන්නා යුරෝපීයයන්, කිසියම් කෙනෙකු මේ ගැටලුවට තදින් පය තැබුවේ නැත්නම් තත්ත්වය නරක් වේවි" යැයි මර්වාන් බිෂාරා මහතා අවසන් වශයෙන් අනතුරු ඇඟවීය.

ඔහුගේ විශ්ලේෂණය පෙන්නුම් කරන්නේ මැද පෙරදිග ගැටුම් අනාගතයේ දී වඩාත් උත්සන්න වීමේ අවදානමක් පවතින බවත්, ඉතිහාසයේ පාඩම් නොසලකා හැරීම මෙම අවදානම තවදුරටත් වැඩි කරන බවත්ය.