අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජූනි 8 වන දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී සිර දඩුවම් නියම වූ සැකකරුවෙකු ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර අධිකාරිවරයා වයස අවුරුදු 52 ක් වන කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ජූනි 9 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණ්‍ය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරු වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර තිබිණි.
'මූල්‍ය වංචාවකට හිරේ ගිය අයකු වෙසක් දා සමාවෙන් ගෙදර ඇරලා' මැයෙන් පුවත්පත් වාර්තා කළ අතර පසුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෙරුණු ප්‍රශ්න කිරීම සමග සමාජයේ විශාල කතාබහක් නිර්මාණය විය.
ඉන්පසුව ජනාධිපති මාධ්‍ය අංශය ජූනි 7 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෙසක් පෝ දින සිරකරුවන් නිදහස් කිරීමට අදාළව 2025-05-06 දා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත වූ බවත්,
නමුත් එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවූ බවයි.
අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජූනි 8 වන දින පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එය ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළවය.
රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ. ඒ අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකු ඉකුත් මැයි 12 වැනිදාට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර ඇති බව පැවසේ.
බන්ධනාගාර අධිකාරිවරයාගේ එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදා හරින ලෙස නියෝගකර තිබේ.
ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොටගෙන දැනට සිරදඬුවම් විඳින සිරකරුවන් හට
පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව පොදු සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය ජූනි 6 වන දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.
එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ඇත. එමෙන්ම තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිතව ද ඇත. මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතී.
මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධ අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි. එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථම ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතී. ඒ සම්බන්ධව ද ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාව ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ.
ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාමලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්‍ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරන අතර ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමිවන බව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අවධාරණය කර තිබුණි.
ස්ත්‍රී දූෂණ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ඇතුළු චෝදනා 32 කට පමණ අයත් සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස් නොකරන බවත්, එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් දැනුවත්ව සිටියදී අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා යම් අයකු වරදකරු වුවහොත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval