anonymous-threats-to-gampola-magistrate-extensive-investigation-begins

ගම්පොල මහෙස්ත්‍රාත්වරිය වන කාංචනා කොඩිතුවක්කු මහත්මියට අපහාසාත්මක හා තර්ජනාත්මක නිර්නාමික ලිපි ලැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගම්පොල පොලිස් අධිකාරී කාර්යාලය වාර්තා කරයි.
අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ගන්නා නිර්භීත හා නිරපේක්ෂ තීරණ සමඟ මෙම තර්ජනාත්මක ලිපි ලැබීමේ වැඩිවීමක් සිදුව ඇති බවත්,

ඒ පිළිබඳව මහෙස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය විසින් ගම්පොල පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිල්ලක් සටහන් කර ඇති බවත් වාර්තා වේ.
මෙම පැමිණිල්ල අනුව, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් ගම්පොල උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියගෙන් කට උත්තරයක් සටහන් කර ගෙන ඇති අතර,

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිගණක යන්ත්‍ර පරීක්ෂාවකට ලක් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධියේ පසුබිම ලෙස, ඉකුත් සතියේ අධිකරණයේ නඩුවක් කැඳවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සිටියදී, එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය නියෝජනය කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකු ගම්පොළ අධිකරණය වෙත පැමිණ සිටි බව වාර්තා වේ. මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු පැහැදිලි කරමින් සිටියදී ඇගේ කතාවට දෙවරක් සමච්චල් වන ආකාරයෙන් සිනාසීම සම්බන්ධයෙන් එම නිලධාරිනියන්ට අවවාද කර තිබියදීත්, නැවත එලෙස සිනාසීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා අභියාචනාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබේ.
මීට අමතරව, මෙම කැඳවා තිබූ නඩුව ජූනි මාසයට නියමිතව තිබී ඇතත්, ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෝසමක් මගින් එය මැයි මාසයේ කැඳවා තිබූ බවද හෙළිවී ඇත.
එදින කැඳවා තිබූ මෙම නඩුව සම්බන්ධ කරගනිමින් මහෙස්ත්‍රාත්වරියට තර්ජනාත්මක ස්වරූපයෙන්, "කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය තත්ත්වයට ගම්පොල අධිකරණය පත් කර නොගන්නා" වැනි අපහාස වන ආකාරයට නිර්නාමික ලිපි ලැබීම පිළිබඳව විමර්ශනයක් කර, අදාළ සිද්ධියට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.


මේ සම්බන්ධයෙන් ගම්පොල පොලිස් අධිකාරී කාර්යාලයෙන් විමසූ විට, එහි නිලධාරියෙකු සඳහන් කළේ ලැබී ඇති පැමිණිල්ල අනුව පුළුල් විමර්ශනයක් පැති කීපයක් ඔස්සේ සිදු කරන බවත්, මේ වන විටත් මේ සම්බන්ධයෙන් උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියගෙන් කට උත්තරයක් සටහන් කරගෙන ඇති බවත්ය.
"අපි මේ පරීක්ෂණ පැති කීපයක් ඔස්සේ පවත්වනවා. ප්‍රාදේශීය ලේකම්වරිය ඉකුත් සතියේ මහනුවර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ද ගම්පොල මහෙස්ත්‍රාත්වරියගේ ක්‍රියා කලාපය විවේචනය කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. එම විවේචන හා පෙත්සම් අතර සම්බන්ධයක් ඇත්ද යන්න ගැනත් පොලීසියේ අවධානය යොමුව තිබෙනවා," යැයිද පොලීසිය සඳහන් කළේය.
ගම්පොල මහෙස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන විනිශ්චයකාරියක බව ජනතා ප්‍රසාදයට හා නිලධාරීන්ගේ ගෞරවයට පත් අයෙකු බව ප්‍රකාශ කෙරේ. ඇය මහෙස්ත්‍රාත්වරියක් ලෙස ලබා දෙන තීන්දු ඉහළ අධිකරණයකදී අභියෝගයට ලක්කළ හැකිව තිබියදී නිර්නාමිකව ඇයට අපහාස වන අයුරින් පෙත්සම් යොමු කිරීම පෞද්ගලිකව ඇය අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක් බවද පොලීසිය පෙන්වා දෙයි.
මහෙස්ත්‍රාත්වරිය සිදු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම පොලීසිය ප්‍රතික්ෂේප කළේය.
පොලිස් නිලධාරීන් සඳහන් කරන පරිදි, මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන දිගටම සිදු කෙරෙන අතර, අධිකරණයට හා එහි නිලධාරීන්ට නිසි ගෞරවය ලබා දීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් බව පෙන්වා දෙයි.

විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු බවද අවධාරණය කෙරේ.
අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම හා එහි තීන්දු තීරණවලට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය කොන්දේසියක් බවත්, නිර්නාමික ලිපි මගින් විනිසුරුවරුන්ට තර්ජනය කිරීම හා අපහාස කිරීම බරපතල අපරාධයක් බවත් නීති විශාරදයෝ පෙන්වා දෙති.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන අතර, අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය රැක ගැනීම සඳහා නීති ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ.