
ඇඹුල්දෙණිය - මාදිවෙල මාර්ගය අසල ඉදිකරමින් පවතින තෙමහල් අවන්හලක අලුත්වැඩියා කටයුතු කරමින් සිටි 17 හැවිරිදි තරුණයකු විදුලිසර වැදී මියගොස් ඇතැයි මිරිහාන පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 10, මරදාන, පන්සල පාර, පදිංචි මොහොමඩ් සාලි අල්ෂාන් නමැති දහ හත් හැවිරිදි තරුණයකු බව පොලීසිය කියයි.
මෙම තරුණයා තවත් කිහිප දෙනකු සමඟ එම ගොඩනැඟිල්ලේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා ගොස් සිටියදී ගොඩනැඟිල්ලෙන් ඇතුළත රැඳී සිටි පුද්ගලයකුගෙන් ඇලුමිනියම් වර්ගයේ ඉනිමගක් පිටතට ගැනීමේදී ඊට අඩි තුනක් පමණ දුරින් ඇද තිබූ අධිබලැති විදුලි රැහැනේ ඉනිමග ගැටී විදුලි සරවැදී අනතුරක් සිදුව තිබුණි. අනතුරින් පසුව විදුලිසර වැදුණු පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.
අදාළ ගොඩනැඟිල්ලේ සිට අඩි තුනක් පමණ දුරින් අධිබලැති විදුලි රැහැන් ඇද තිබූ අතර ඊට ප්ලාස්ටික් ආවරණ යොදා ආරක්ෂා නොකිරීම නිසා මෙසේ විදුලිසර වැදී ඇති බවත් මෙම පුද්ගලයා අනාරක්ෂිතව රැඳී සිටිමින් සේවය කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය කියයි.
සිද්ධියෙන් පසුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා විසින් මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදු කළ අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ධම්මිකා ආරියරත්න මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළාය.
එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර සිද්ධිය වූ ස්ථානය විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ නිලධාරියකු ලවා ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට එහි වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙසට ප්‍රදේශයේ විදුලි ඉංජිනේරුවරයාට හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටගොඩ මහතා නියෝගයක් කළේය.
තවද හදිසි මරණ පරීක්ෂණය සිදුවන අවස්ථාවේදී ගොඩනැඟිල්ලේ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙසට දන්වා තිබුණත් ඔහු එදින නොපැමිණීම නිසා යළි කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසටද හදිසි මරණ පරීක්ෂකවරයා පොලීසියට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසියේ පො.කො. (102907) රාජනායක මහතා පරීක්ෂණ මෙහෙය විය.
(කොට්ටාව - ප්‍රදීප් කුමාර)
Comments
Post a Comment
Your comment will be visible after approval